මා ලියූ නවකතා
මා ලියූ නවකතා කිහිපයක් කොටස් වශයෙන්
ඔබ අතට ආදරයෙන් පත්කරමි.
Wednesday, May 22, 2013
අවසානයද? පටන් ගැනුමක්ද?
අඳුන සිහින අවසාන කොටස
ගොඩනැගිල්ල දුටු රිදීමාට සිතුණේ, ‘රෝහලයැයි පැවසුවාට එය රෝහලක්’ නොවන බවය.එය පැරණි මන්දිරයක් සිහි කරනා සුවිසාල ගොඩනැගිල්ලක් විය. වටා පිටාව උස් ගස් කොළන්වලින් වැසී තිබුණු අතර, පසෙකින් අලංකාර පොකුණක්ද, ඒ වටා පැනවූ අසුන් කිහිපයක් ද දක්නට ලැබිණි. පරිසරයේ වූයේ සිත් නිවනා සුළු, ශාන්ත බවෙකි. රෝහලේ සේවකයෝ ඉතා විනීත, කරුණාවන්ත අය වූය. ඊට ඇතුල් වූ විගස රිදිමා, නදින් අය්යාගේ අත තරයේ අල්වා ගත්තාය. ඔවුන්ගේ විස්තර සටහන් කරගත් හෙදියක් ඔවුන් උඩුමහල වෙත ගෙන ගියාය. රිදීමාගේ යහළුවන් ඒම ගැන මව කැමැත්ත ප‍්‍රකාශ කොට තිබූ බැවින් ඔවුහුද එහි පැමිණ සිටියෝය. සියල්ලෝම රිදීමාගේ මවගේ කාමරය වෙත ගමන් කළාහ.
පටු කොරිඩෝවක් ඔස්සේ ගමන් කළ හෙදිය දකුණට හැරුණාය. දකුණුපස කෙළවර වූයේ නාන කාමරයකි. ඈ සෙමෙන් වසා තිබූ දොරට තට්ටු කළාය.
“එන්න...” සිහින් හඬක් ඇතුළෙන් ඇසුණේය.
තමාගේ හද ගැහෙනා හඬ අන් අයට ඇසේ යැයි රිදීමා බිය වූවාය. හෙදිය දොර විවර කළ මුත්, ඇය හිස එසවූයේ නැත. නදින් අය්යා, ඇගේ සුරතින් ඇද ඇයව ඇතුලට ගත්තේය. යහළුවෝ සියළුදෙනා දොර අසල නතර වූහ. රිදීමා හිස එසවූයේ සෙමිනි. කවුළුව අසල අසුන්ගෙන උන් කාන්තාව ඉතා සෙමින් ඉන් නැගිට්ටාය. රිදීමා මුලින් දුටුවේ, මුළුමනින්ම සුදු පැහැ ගැන්වුණු ඇගේ කෙස් කළඹය. අනතුරුව කඳුලෙන් පිරෙමින් තිබූ ඇගේ දෙනෙතය. අවිහින්සක, සිනහවකින් පිරෙමින් තිබූ මඳක් සැලූණු දෙතොලය. දිගු සායකින් හා චාම් බ්ලවුසයකින් සිටි ඈ සිය දෑත් රිදීමා වෙත දිගු කළාය.
රිදීමාගේ මුවින් යම් හඬක් නිකුත් විය. තමා දුවගොස් මව වැළඳ ගනු ඇයට දැනුණේ, ඉතා සෙමෙන් සිදුවන
අපූරු සිදුවීමක් හැටියටය. තමාට ඉතා සුපුරුදු වූ ඒ මල් සුවඳ ඇගේ නැහැයට දැනිණි. මවගේ ළමැදේ උණුසුම ඇගේ ළයට දැනිණි.
“අම්මා....” ඈ සෙමෙන් මැතිරුවාය.
“මගේ සුදු දුව....” මව ඇගේ හිස නොනවත්වාම පිරිමැද්දාය.
“මගේ සුදු දුව....” ඇගේ නෙතින් නොකඩවා ගැලූ කඳුළු බිඳු රිදීමාගේ කපොලක් තෙමාගෙන පහළට ගැලීය. රිදීමාට දැනුණේ, තමා සොයමින් සිටි ප‍්‍රහේළිකාවේ ප‍්‍රධාන පුරුක සමුවී, ඉතිරි සියල්ලම නියමිත තැන්වලට වැටීමෙන් මුළු ප‍්‍රහේළිකාවම විසඳී ගිය බවකි.
“මම අම්මව තනි කරලා ආය කොහේවත් යන්නේ නෑ අම්මා...” රිදීමා මවට පොරොන්දු වූවාය.
ඔවුන් දෙදෙනාට එසේ සිටීමට මඳ වේලාවක් දුන් නදින් ද පැමිණ සිය පුංචි අම්මා වැළඳ ගත්තේය.
“දැන් ඉතින් පුංචිට හොඳටම සනීප හන්දා අපිත් එක්ක ගෙදර යන්න පුලූවන්. එහෙදි කතාබහ කරලා ඔක්කොම ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්....” ඔහු පැවසුවේය.
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
සියල්ල සිත සැනසෙන අන්දමින් නිමවීම, සියල්ලන්ගේම සිතට සතුටක් විය. රිදීමාගේ පියා දන්වා එවා තිබුණේ ඔහු ළඟදීම දිවයිනට පැමිණෙන බවත්, මවත් රැගෙන වෙනම පදිංචිවන බවත්ය. රිදීමා ඔහු මුණ ගැසීමෙන් පසුව, අධ්‍යාපන කටයුතු නිමා කිරීම සඳහා ආපසු මෙල්බර්න් කරා යායුතු බවටද තිරණය විණි. යහළුවෝ, ඇය නතරකොට ආපසු යෑමට සැරසුණෝය. රිදීමා සියල්ල අවසන් කොට ආපසු එනතුරු බලා සිටීමට ඔවුහු පොරොන්දු වූහ.
“මම ඔයා එනකල් බලා ඉන්නවා.....” ඇය තනිවූ මොහොතක් බලා දිනූෂ පැවසීය. ඔවුන් හිඳ උන්නේ වත්ත
පහළ ලොවි ගහක් යටවූ ලී බංකුවේය. දිනූෂගේ ආදරණීය, අවිහිංසක මුහුණ දුටු රිදීමාගේ සිතෙහි ඇතිවූයේද ඉමහත් සෙනෙහසකි.
“මම ඔයා එනකල් බලා ඉන්නදැ’යි ඔහු ඇසුවේ නැත. ඔහුගේ දෑතට මැදිවූ තමාගේ දෑත ඔහු මුදු අයුරින්
මිරිකා ගන්නවා රිදීමාට දැනුණේය.
“මට ඕන තරම් කල් ඔයා වෙනුවෙන් බලා හිටියැකි. හදිස්සියක් නෑ....” ඔහුගේ මුහුණේ සිනාවක් නැගිණි.
“මට ඇත්ත කියන්න. ඔයා නිශ්කට ආදරේ නෑ නේද ?”
රිදීමා හිස සෙලවූවාය.
“කවදාවත්ම මම එයාට ආදරේ කරලා නෑ දිනූෂ. මම හැමදාම ආදරේ කරලා තියෙන්නේ ඔයාට විතරයි....” ඔහු නැඹුරු වී ඇගේ හිස සිප ගත්තේය.
“වැඩ ගොඩවෙලා නැත්නම් මමත් ඔයා එනකල් මෙහෙම ඉන්නවා...”
“එහෙම කරන්නෙපා. අම්මා ඔයා එනකල් බලා ඉන්නවනේ. අනෙක මටත් මගේ අම්මා එක්ක ටික දවසක් තනියම ඉන්න ඕනි. මට එයාව හම්බ උණේ ජීවිත කාලයකට පස්සේ...”
“හා... හා... දෙන්නා මොනවද රහසින් ප්ලෑන් කරන්නේ ? පැනලා යන්නවත්ද ?” අසමින් පැමිණියේ මහීකාය.
“එයාලා මොකටද පැන පැන යන්නේ මෙච්චර වාහන තියෙද්දි ? හැබෑටම මෙහෙම දවසකටවත් මෙයාට උදැල්ලක් නොදා ඉන්න බැරි හැටි....” ඇය හා එමින් සිටි අජය පැවසුවේය. “අන්න අරෙහේ අමා, නදින්ගෙන්
ලියවිල්ලක් ගන්නවා එයාවමයි බඳින්නේ කියලා. කෝ රිදීමත් එකක් ලෑස්ති කරගත්තද ? ”මහීකා ඔහුට ගුටියක් ඇන්නාය. “කට.... කට.....”
“අහිංසක මට ඉතින් දෙය්යන්නෙම පිහිටයි. මට කාගෙන්වත්, කිසිම පොරොන්දුවක් ලැබුණේ නෑ....”
දිනූෂද, රිදීමාද ඔවුන් හා එක්ව සිනාසුණෝය.
“එයා එහෙම එකක් ලේසීයෙන් දෙන එකක් නෑ..... අම්මයි, තාත්තයි දෙන්නම ලෝයර්ස්ලනේ.”
අමා හා නදින් අය්යාද එහි පැමිණියෝය. “එක කතාවක් අපි ඉවර කරන්න හදනවා වගේ.....” අමා පැවසුවාය.
“නෑ අපි තව කතාවක් පටන් ගන්නවා විතරයි....” නදින් ඇය දෙස බලා සිනාසුණේය.
“නිශ්කට කතා කරන්න යනවද ?” මහීකා රහසින් ඇසුවේ රිදීමා අසලින් හිඳගනිමිනි.
“ඔව් හෙට උදේම යනවා පිංචිත් එක්ක. මම එයාට පණිවිඩයක් ඇරියා උදෙන්ම ගඟ ළඟට එන්න කියලා...”
‘එයත් ආපහු ඒවි නේද ? ස්කොල් එක තව අවුරුදු කීපයක් ඇතිනේ ?”
“දන්නේ නෑ රිදීමා...” හිස සැලූවාය.
“වෙච්ච දේවල් ඔක්කොම කෝල් කරලා කියන්න ඕනි. දිග ඊ මේල් එවන්න ඕනි. නැත්නම් හෙම බලාගෙනයි ඔන්න....” මහීකා තරවටු කළාය.
“හරිම දුකයි රිදීමාව දාලා යන්න....” අමා පැවසුවාය. “දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ. අම්මත් ඉන්නවා. තාත්තත් එනවා, ඔක්කොටම වඩා නදින් අය්යා මං ළඟ ඉන්නවානේ...” නදින්, රිදීමා දෙස බලා සිනා
වූයේය.
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
යහළුවන් සියල්ල නික්මගිය පසු දක්නට ලැබුණේ කුණාටුවකට පසු දැනෙන නිහඬබවකි. උදෑසන වනතුරු කෝපි බොමි න් කතාබහෙහි යෙදී සිටි නිසාදෝ කවුරු, කවුරුත් දහවල් වනතුරු නිදාගන්නා බවක්
පේන්ට තිබුණේය. උයනගේ පැත්තේ කිසිවකු නොවීය.
සීතල හිමිදිරියේ රිදීමා, පිංචිව අවදි කරවා ගත්තේ, ගං ඉවුර වෙත ගමන් කළාය. තාමත් හරිහැටි ඉර එළිය වැටී නොතිබීම නිසාදෝ තණ ගොල්ල පින්නෙන් වැසී තිබිණි. කුරුල්ලෝ එකිනෙකා අවදි වන්නට පටන් ගත්තාහ. පින්නෙන් බර වූ දියබිඳු, හැම සුළඟින් සැලී බිමට වැටුණේය. ඔහු දැකීමට පෙර, රිදීමාට ඔහුගේ මියුරු බටනලා
හඬ ඇසුණේය. ඈ මොහොතකට නතරවී, ඊට සවන්දුන්නාය.
“ඇයි සුදු බේබි ?”
ඇය අනුව යමින්, මග නතර වූ පිංචි කෙල්ල ඇසුවාය.
“ලස්සනයි පිංචියේ....” පිංචිගේ මුවද සිනහවකින් විකසිත විය.
ඔවුහු ඉක්මන් ගමනින් ගං ඉවුර වෙත ළඟා වූහ. නිශ්ක ගංතෙරෙහි වූ විශාල කුඹුක් සෙවනේ ගල්තලාවක හිඳ උන්නේය. ඔහුගේ දෑස් පියවී තිබූ අතර, ඇඟිලි තුඩු බටනලාව මත යැවෙන ආකාරය රිදීමා බලා සිටියාය. ඔහුගේ කනෙක වූ කරුබුව එදා මෙන්ම අද ද දිලූණේය.
කාලය නතර විණි. ලොවම නිසල විය. උන්නේ නිශ්ක හා ඇය පමණකි. පිංචි කොහාට වූවාදැයි රිදීමා නොදත්තාය. ඇගේ සේයාව දැනීමෙන්දෝ නිශ්ක බටනලාව තම මුවින් ඉවතට ගත්තේය.
“සුදු මැණිකේ....”
ඈ ඔහු වෙත ගමන් කොට, ගල් තලාවේ ඔහු අසලින් හිඳ ගත්තාය.
“ඔයා ඉක්මණින් ආපසු යනවද ?” ඔහු විමසීය.
“ඔව් …තාත්තා ආව හැටියේ ?” නිශ්ක මඳක් කල්පනා කළේය.
“එතකොට අපට මොකද වෙන්නේ ?”
“නිශ්ක....” ඈ හෙමිහිට තෙපළාය. “අපට මුකුත් වෙන්නේ නෑ. ඔයා ආශ‍්‍රය කරලා තියෙන්නේ මගේ අක්කව...”
නිශ්ක මුවින් නොබැන බලා උන්නේය. “එයා මගේ නිවුන් සහෝදරී. ඔයා එක්ක නැටුම් කළේ එයා. ඔයාට ආදරේ කළේ එයා. එදා එයා කියලා ඔයා බේරලා තියෙන්නේ මාව. මගේ අක්කව නෙමේ....”
ඔහු කිසිත් නොදොඩා තාමත් බලා සිටියේ ඇය දෙසය.
“මට සමාවෙන්න නිශ්ක. මම රිදීමා… මම ඔයාගේ රෙහානා නෙමේ...”
නිශ්ක එක එල්ලේ ඇගේ දෑස දෙස බැලූවේය.
“කවුද එහෙම කියන්නේ ?” ඔහු ඇසීය. ”ඔයා රෙහානා. ඔයා රිදීමා නෙමෙයි.” ඊළඟට පැවසීය.
ඉවරයි.
Subscribe to:
Posts (Atom)