Wednesday, May 22, 2013

අවසානයද? පටන් ගැනුමක්ද?



අඳුන සිහින අවසාන කොටස

ගොඩනැගිල්ල දුටු රිදීමාට සිතුණේ, ‘රෝහලයැයි පැවසුවාට එය රෝහලක්’ නොවන බවය.එය පැරණි මන්දිරයක් සිහි කරනා සුවිසාල ගොඩනැගිල්ලක් විය. වටා පිටාව උස් ගස් කොළන්වලින් වැසී තිබුණු අතර, පසෙකින් අලංකාර පොකුණක්ද, ඒ වටා පැනවූ අසුන් කිහිපයක් ද දක්නට ලැබිණි. පරිසරයේ වූයේ සිත් නිවනා සුළු, ශාන්ත බවෙකි. රෝහලේ සේවකයෝ ඉතා විනීත, කරුණාවන්ත අය වූය. ඊට ඇතුල් වූ විගස රිදිමා, නදින් අය්යාගේ අත තරයේ අල්වා ගත්තාය. ඔවුන්ගේ විස්තර සටහන් කරගත් හෙදියක් ඔවුන් උඩුමහල වෙත ගෙන ගියාය. රිදීමාගේ යහළුවන් ඒම ගැන මව කැමැත්ත ප‍්‍රකාශ කොට තිබූ බැවින් ඔවුහුද එහි පැමිණ සිටියෝය. සියල්ලෝම රිදීමාගේ මවගේ කාමරය වෙත ගමන් කළාහ.

පටු කොරිඩෝවක් ඔස්සේ ගමන් කළ හෙදිය දකුණට හැරුණාය. දකුණුපස කෙළවර වූයේ නාන කාමරයකි. ඈ සෙමෙන් වසා තිබූ දොරට තට්ටු කළාය.

“එන්න...” සිහින් හඬක් ඇතුළෙන් ඇසුණේය.

තමාගේ හද ගැහෙනා හඬ අන් අයට ඇසේ යැයි රිදීමා බිය වූවාය. හෙදිය දොර විවර කළ මුත්, ඇය හිස එසවූයේ නැත. නදින් අය්යා, ඇගේ සුරතින් ඇද ඇයව ඇතුලට ගත්තේය. යහළුවෝ සියළුදෙනා දොර අසල නතර වූහ. රිදීමා හිස එසවූයේ සෙමිනි. කවුළුව අසල අසුන්ගෙන උන් කාන්තාව ඉතා සෙමින් ඉන් නැගිට්ටාය. රිදීමා මුලින් දුටුවේ, මුළුමනින්ම සුදු පැහැ ගැන්වුණු ඇගේ කෙස් කළඹය. අනතුරුව කඳුලෙන් පිරෙමින් තිබූ ඇගේ දෙනෙතය. අවිහින්සක, සිනහවකින් පිරෙමින් තිබූ මඳක් සැලූණු දෙතොලය. දිගු සායකින් හා චාම් බ්ලවුසයකින් සිටි ඈ සිය දෑත් රිදීමා වෙත දිගු කළාය.

රිදීමාගේ මුවින් යම් හඬක් නිකුත් විය. තමා දුවගොස් මව වැළඳ ගනු ඇයට දැනුණේ, ඉතා සෙමෙන් සිදුවන
අපූරු සිදුවීමක් හැටියටය. තමාට ඉතා සුපුරුදු වූ ඒ මල් සුවඳ ඇගේ නැහැයට දැනිණි. මවගේ ළමැදේ උණුසුම ඇගේ ළයට දැනිණි.

“අම්මා....” ඈ සෙමෙන් මැතිරුවාය.

“මගේ සුදු දුව....” මව ඇගේ හිස නොනවත්වාම පිරිමැද්දාය.

“මගේ සුදු දුව....” ඇගේ නෙතින් නොකඩවා ගැලූ කඳුළු බිඳු රිදීමාගේ කපොලක් තෙමාගෙන පහළට ගැලීය. රිදීමාට දැනුණේ, තමා සොයමින් සිටි ප‍්‍රහේළිකාවේ ප‍්‍රධාන පුරුක සමුවී, ඉතිරි සියල්ලම නියමිත තැන්වලට වැටීමෙන් මුළු ප‍්‍රහේළිකාවම විසඳී ගිය බවකි.

“මම අම්මව තනි කරලා ආය කොහේවත් යන්නේ නෑ අම්මා...” රිදීමා මවට පොරොන්දු වූවාය.

ඔවුන් දෙදෙනාට එසේ සිටීමට මඳ වේලාවක් දුන් නදින් ද පැමිණ සිය පුංචි අම්මා වැළඳ ගත්තේය.
“දැන් ඉතින් පුංචිට හොඳටම සනීප හන්දා අපිත් එක්ක ගෙදර යන්න පුලූවන්. එහෙදි කතාබහ කරලා ඔක්කොම ප‍්‍රශ්න විසඳගන්න පුළුවන්....” ඔහු පැවසුවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සියල්ල සිත සැනසෙන අන්දමින් නිමවීම, සියල්ලන්ගේම සිතට සතුටක් විය. රිදීමාගේ පියා දන්වා එවා තිබුණේ ඔහු ළඟදීම දිවයිනට පැමිණෙන බවත්, මවත් රැගෙන වෙනම පදිංචිවන බවත්ය. රිදීමා ඔහු මුණ ගැසීමෙන් පසුව, අධ්‍යාපන කටයුතු නිමා කිරීම සඳහා ආපසු මෙල්බර්න් කරා යායුතු බවටද තිරණය විණි. යහළුවෝ, ඇය නතරකොට ආපසු යෑමට සැරසුණෝය. රිදීමා සියල්ල අවසන් කොට ආපසු එනතුරු බලා සිටීමට ඔවුහු පොරොන්දු වූහ.

“මම ඔයා එනකල් බලා ඉන්නවා.....” ඇය තනිවූ මොහොතක් බලා දිනූෂ පැවසීය. ඔවුන් හිඳ උන්නේ වත්ත
පහළ ලොවි ගහක් යටවූ ලී බංකුවේය. දිනූෂගේ ආදරණීය, අවිහිංසක මුහුණ දුටු රිදීමාගේ සිතෙහි ඇතිවූයේද ඉමහත් සෙනෙහසකි.
“මම ඔයා එනකල් බලා ඉන්නදැ’යි ඔහු ඇසුවේ නැත. ඔහුගේ දෑතට මැදිවූ තමාගේ දෑත ඔහු මුදු අයුරින්
මිරිකා ගන්නවා රිදීමාට දැනුණේය.

“මට ඕන තරම් කල් ඔයා වෙනුවෙන් බලා හිටියැකි. හදිස්සියක් නෑ....” ඔහුගේ මුහුණේ සිනාවක් නැගිණි.

“මට ඇත්ත කියන්න. ඔයා නිශ්කට ආදරේ නෑ නේද ?”

රිදීමා හිස සෙලවූවාය.

“කවදාවත්ම මම එයාට ආදරේ කරලා නෑ දිනූෂ. මම හැමදාම ආදරේ කරලා තියෙන්නේ ඔයාට විතරයි....” ඔහු නැඹුරු වී ඇගේ හිස සිප ගත්තේය.

“වැඩ ගොඩවෙලා නැත්නම් මමත් ඔයා එනකල් මෙහෙම ඉන්නවා...”

“එහෙම කරන්නෙපා. අම්මා ඔයා එනකල් බලා ඉන්නවනේ. අනෙක මටත් මගේ අම්මා එක්ක ටික දවසක් තනියම ඉන්න ඕනි. මට එයාව හම්බ උණේ ජීවිත කාලයකට පස්සේ...”

“හා... හා... දෙන්නා මොනවද රහසින් ප්ලෑන් කරන්නේ ? පැනලා යන්නවත්ද ?” අසමින් පැමිණියේ මහීකාය.

“එයාලා මොකටද පැන පැන යන්නේ මෙච්චර වාහන තියෙද්දි ? හැබෑටම මෙහෙම දවසකටවත් මෙයාට උදැල්ලක් නොදා ඉන්න බැරි හැටි....” ඇය හා එමින් සිටි අජය පැවසුවේය. “අන්න අරෙහේ අමා, නදින්ගෙන්
ලියවිල්ලක් ගන්නවා එයාවමයි බඳින්නේ කියලා. කෝ රිදීමත් එකක් ලෑස්ති කරගත්තද ? ”මහීකා ඔහුට ගුටියක් ඇන්නාය. “කට.... කට.....”

“අහිංසක මට ඉතින් දෙය්යන්නෙම පිහිටයි. මට කාගෙන්වත්, කිසිම පොරොන්දුවක් ලැබුණේ නෑ....”
දිනූෂද, රිදීමාද ඔවුන් හා එක්ව සිනාසුණෝය.

“එයා එහෙම එකක් ලේසීයෙන් දෙන එකක් නෑ..... අම්මයි, තාත්තයි දෙන්නම ලෝයර්ස්ලනේ.”

අමා හා නදින් අය්යාද එහි පැමිණියෝය. “එක කතාවක් අපි ඉවර කරන්න හදනවා වගේ.....” අමා පැවසුවාය.

“නෑ අපි තව කතාවක් පටන් ගන්නවා විතරයි....” නදින් ඇය දෙස බලා සිනාසුණේය.

“නිශ්කට කතා කරන්න යනවද ?” මහීකා රහසින් ඇසුවේ රිදීමා අසලින් හිඳගනිමිනි.

“ඔව් හෙට උදේම යනවා පිංචිත් එක්ක. මම එයාට පණිවිඩයක් ඇරියා උදෙන්ම ගඟ ළඟට එන්න කියලා...”

‘එයත් ආපහු ඒවි නේද ? ස්කොල් එක තව අවුරුදු කීපයක් ඇතිනේ ?”

“දන්නේ නෑ රිදීමා...” හිස සැලූවාය.

“වෙච්ච දේවල් ඔක්කොම කෝල් කරලා කියන්න ඕනි. දිග ඊ මේල් එවන්න ඕනි. නැත්නම් හෙම බලාගෙනයි ඔන්න....” මහීකා තරවටු කළාය.

“හරිම දුකයි රිදීමාව දාලා යන්න....” අමා පැවසුවාය. “දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ. අම්මත් ඉන්නවා. තාත්තත් එනවා, ඔක්කොටම වඩා නදින් අය්යා මං ළඟ ඉන්නවානේ...” නදින්, රිදීමා දෙස බලා සිනා
වූයේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

යහළුවන් සියල්ල නික්මගිය පසු දක්නට ලැබුණේ කුණාටුවකට පසු දැනෙන නිහඬබවකි. උදෑසන වනතුරු කෝපි බොමි න් කතාබහෙහි යෙදී සිටි නිසාදෝ කවුරු, කවුරුත් දහවල් වනතුරු නිදාගන්නා බවක්
පේන්ට තිබුණේය. උයනගේ පැත්තේ කිසිවකු නොවීය.

සීතල හිමිදිරියේ රිදීමා, පිංචිව අවදි කරවා ගත්තේ, ගං ඉවුර වෙත ගමන් කළාය. තාමත් හරිහැටි ඉර එළිය වැටී නොතිබීම නිසාදෝ තණ ගොල්ල පින්නෙන් වැසී තිබිණි. කුරුල්ලෝ එකිනෙකා අවදි වන්නට පටන් ගත්තාහ. පින්නෙන් බර වූ දියබිඳු, හැම සුළඟින් සැලී බිමට වැටුණේය. ඔහු දැකීමට පෙර, රිදීමාට ඔහුගේ මියුරු බටනලා
හඬ ඇසුණේය. ඈ මොහොතකට නතරවී, ඊට සවන්දුන්නාය.

“ඇයි සුදු බේබි ?”

ඇය අනුව යමින්, මග නතර වූ පිංචි කෙල්ල ඇසුවාය.

“ලස්සනයි පිංචියේ....” පිංචිගේ මුවද සිනහවකින් විකසිත විය.

ඔවුහු ඉක්මන් ගමනින් ගං ඉවුර වෙත ළඟා වූහ. නිශ්ක ගංතෙරෙහි වූ විශාල කුඹුක් සෙවනේ ගල්තලාවක හිඳ උන්නේය. ඔහුගේ දෑස් පියවී තිබූ අතර, ඇඟිලි තුඩු බටනලාව මත යැවෙන ආකාරය රිදීමා බලා සිටියාය. ඔහුගේ කනෙක වූ කරුබුව එදා මෙන්ම අද ද දිලූණේය.

කාලය නතර විණි. ලොවම නිසල විය. උන්නේ නිශ්ක හා ඇය පමණකි. පිංචි කොහාට වූවාදැයි රිදීමා නොදත්තාය. ඇගේ සේයාව දැනීමෙන්දෝ නිශ්ක බටනලාව තම මුවින් ඉවතට ගත්තේය.

“සුදු මැණිකේ....”

ඈ ඔහු වෙත ගමන් කොට, ගල් තලාවේ ඔහු අසලින් හිඳ ගත්තාය.

“ඔයා ඉක්මණින් ආපසු යනවද ?” ඔහු විමසීය.

“ඔව් …තාත්තා ආව හැටියේ ?” නිශ්ක මඳක් කල්පනා කළේය.

“එතකොට අපට මොකද වෙන්නේ ?”

“නිශ්ක....” ඈ හෙමිහිට තෙපළාය. “අපට මුකුත් වෙන්නේ නෑ. ඔයා ආශ‍්‍රය කරලා තියෙන්නේ මගේ අක්කව...”

නිශ්ක මුවින් නොබැන බලා උන්නේය. “එයා මගේ නිවුන් සහෝදරී. ඔයා එක්ක නැටුම් කළේ එයා. ඔයාට ආදරේ කළේ එයා. එදා එයා කියලා ඔයා බේරලා තියෙන්නේ මාව. මගේ අක්කව නෙමේ....”

ඔහු කිසිත් නොදොඩා තාමත් බලා සිටියේ ඇය දෙසය.

“මට සමාවෙන්න නිශ්ක. මම රිදීමා… මම ඔයාගේ රෙහානා නෙමේ...”

නිශ්ක එක එල්ලේ ඇගේ දෑස දෙස බැලූවේය.

“කවුද එහෙම කියන්නේ ?” ඔහු ඇසීය. ”ඔයා රෙහානා. ඔයා රිදීමා නෙමෙයි.” ඊළඟට පැවසීය.

ඉවරයි.

Tuesday, May 14, 2013

රහස් හෙළිවෙයි







අඳුන් සිහින දහහත්වැනි කොටස

සියල්ලෝම කෑම මේසය වටා වාඩිවී උන්නෝය.මේසය පුරා තැනින් තැන දක්නට ලැබුණේ, ඔවුන් විසින් හිස්කරනා ලද තේ කෝප්පය. මැණිකා විසින් හවස කපා පිළියෙල කරන ලද වැලිතලප පීරිසියේ ඉතිරිවූ කැට දෙක තුනය. ලොකු පලඟානෙහි ඉතිරිවූ පුවාලි කෙසෙල්ගෙඩිය. එයද එක්තරා විදියක සටනක් මහීකා සිතුවාය.

දැන් අපි බහිමු කතාවට....නදින් අය්යා පැවසීය. හැමෝම තම අවධානය ඔහු වෙත යොමු කළෝය. තමාගේ හද ගැහෙනු රිදීමාට ඇසිණි. ඈ මොහොතකට දෑස් පියාගත්තාය. නදින් තම සුරත යවා, තමා අසල ඉඳ උන් නැගෙණියගේ සුරත තදින් අල්වා ගත්තේය.

රිදීමා....

ඇය සෙමෙන් ඇස් ඇර ඔහු දෙස බැලූවාය.

මම අද මෙතන මොන කතාව කීවත් ඔයා මගේම නංගි බව ත්තපරයකටවත් අමතක කරන්න එපා හොඳේ.

රිදීමාගේ මව තම නෙතට නැඟුණු කඳුළක් පිස දැමුවාය. මහීකා බිම බලාගත්තාය. අමාගේ නෙත් නම් නදින් වෙතින් මොහොතකටවත් ඉවත් වූයේ නැත.

රිදීමා මගේ පුංචි අම්මගේ දුවෙක් !...හෙණ ගෙඩි හත, අටක් හිසට පාත්වෙන දැනුනත්, රිදීමාට සිතුණේ තමා මෙය හැමදාම දැනසිටියා නොවේදැයි කියාය. අම්මා වඩා ආදරය කළේ අය්යාටය. ඇය රිදීමාට කළ ආදරයේ අඩුවක් තිබුණා නොවේ. එහෙත් යම් වෙනසක් තිබුණේය. ඇය නිතරම රදීමා දෙස බැලූවේ ශෝකයකිනි. එක්තරා අන්දමක පසුතැවිල්ලකිණි.

අපි ඒ කාලේ කොළඹ පදිංචි වෙලා හිටියේ මෙහේ හිටියේ අපේ මහ උදවිය...අම්මාගේ හඬ බිඳෙනවා රිදීමාට ඇසුණේය. මගේ නංගි ඉගෙනගත්තේ කොළඹ. එයා හරිම ලස්සනයි. දඟයි. අප්පච්චිගේ ඇස්දෙක උණේ නංගියි...අම්මා තවත් කඳුළක් පිස දැමුවාය.

අප්පච්චී වචනයක් නොදෙඩුවේය.

විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙ නොගැලපෙන සම්බන්ධෙකට නංගි පැටලුණා. අප්පච්චී එකපයින් ම කියා හිටියේ, කෑලී කැපුවත් නංගිට ඒ මනුස්සයා එක්ක යන්න දෙන්නෙ නෑ කියලයි. ඒත් නංගිව නවත්තන්න කාටත් බැරි උණා. ඒ දෙන්නා හොරෙන්ම කසාද බැන්දා....

මම මුලින්ම කීවා ගෙදර අයගේ කැමැත්තෙන් ඕක පිළිවෙළක් කරන්න කියලා. ගෑනියෙක් බඩදරු  උණාට පස්සෙ අහවල් දෙයක් කරන්ටද ?” අප්පච්චී පැවසුවේ හැඟීම් විරහිත අයකු ලෙසය.

ඊට පස්සෙදිවත්, අපි කොච්චර කීවත් අප්පච්චී ඇහුවේ නෑ. අර කොල්ලා රට දාලා ගියා. අප්පච්චි මිය ඇදුණා...කිසිවෙක් කතා නොකළෝය. නගා දරු දෙන්නෙක් එක්ක තනිවෙච්චි. එයාට හිටියේ නිඹුල්ලූරෙහානාගේ සිනහව, රිදීමාගේ මනසෙහි ඇඳී, නොපෙනී ගියේය.

දෙන්නගෙන් බාල දැරිවි මොකක් නමුත් මොළේ අමාරුවක් තිබුණා. පස්සේ, අපි ඒ දැරිවිත් අරගෙන ගමට ආවා...අප්පච්චී පැවසීය. මෙතරම් තද හිතක් ඇතැයි තමා සිතූ අප්පච්චී එබන්දක් කරායැයි රිදීමාට අදහාගත නොහැකි වූයේය.

නංගිටත් ඒ වගේම ප‍්‍රශ්නයක් තිබුණා. මහත්තයා රට ගියාට පස්සේ එයාටත් ලෙඬේ වැඩි උණා. රිදීමා නුවර කොන්වන්ට් එකට දාන්න අපි තීරණය කළේ එතකොටයි. ඉඳහිට නිවාඩුවකට ඇරෙන්න දුව අපේ ගෙදර වැඩිපුර ආවේ නෑ....

අම්මා හිස ඔසවා රිදීමා දෙස බැලූවාය.

මම දන්නවා මේ මුකුත් ඔයාට මතක නැත බව. ඔයා පුංචි සංදියේ ඉඳන් අම්මයි, අප්පච්චීයි කීවේ අපි දෙන්නට. ඔයාගේ අම්මට ඔයා කීවේ පුංචි....අම්මාගේ දෙනෙතින් සට, සටගා කඳුලූ කඩා හැලූණේය. අප්පච්චීද වහා මුහුණ පසෙකට හරවා ගත්තේය.

නිහඬව සිටි නදින් කතාව පටන් ගත්තේය. රෙහානා හැම තිස්සේම පෙන්නුම් කළේ එයා, ඔයා කියලයි. එයා ඉගෙන ගන්න දක්ෂ උණේ නෑ. ආශා කළේ නැටුමට විතරයි...ගෙජ්ජි සැලෙන  හඬද, රෙහානාගේ ගීතමය සිනා හඬද,  රිදීමාට ඇසී, නෑසි ගියේය. නදින් අය්යා රිදීමා දෙස බැලීය. නිශ්කට ඔය දෙන්නා පැටලූණේ ඒකයි.දිනූෂට සුසුමක්  හෙළිනි. එය සැනසුම් සුසුමකැයි රිදීමා සිතුවාය. නිශ්ක කෙරෙහි තදබල බැඳීමක් ඇය තුළ කවදාවත් නොතිබුණේය. වූයේ කිසියම් අන්දමක සෙනෙහසක් පමණෙකි.

මේ සිද්ධිය උණේ රිදීමා ගමට ආපු වෙලාක. ගමේ මිනිස්සු කොහොමටත් මේ දෙන්නා පටලවාගෙනයි තිබුණේ.

සුදු මැණිකේ අද නැටුම් පංතියට යන්නේ නැතැයි...ගැමි ගැහැනියක අසනවා රිදීමාට මතක් විය.

මොන නැටුම් ද ?”

ඇයි අර හැමදාම වගේ හවසට නැටුම් ගුරුන්නාන්සෙගෙ ගෙදර ගොහුන් ඉගෙන ගන්නේ....ගැහැනිය දත්නැති කටඅයා  හිනැහුනාය.

රෙහානා, නිශ්ක එක්ක පැටලූණේ ඔය නැටුම් පංති යන්න ගිහින්.අප්පච්චීගේ හඩෙහි වූයේ කෝපයකි.  මේ ළමයගේ තත්වය දැනගනත්, නැටුම්කාරයා තමාගේ පුතාට අවවාද කළේ නෑ. මම හිතන්නේ අදටත් අවවාද කරලා නැතිව ඇති...

නිශ්ක කියන්නේ අවවාද අහන මිනිහෙක් නෙමේ.නදින් අය්යා පැවසුවේය. එයා මහා හිතුවක්කාර, පණ්ඩිත මිනිහෙක්. ඒත් මිනිහා රෙහානට පණ ඇරගෙන ආදරේ කළා. හැබැයි රිදීමයි රෙහානයි දෙන්නෙක් කියලා මිනිහා දැනගෙන හිටියද මම දන්නේ නෑ.

නිශ්ක ඉස්කෝලේ ගියේ කොහෙද ?” අජය ඇසුවේය.

මිනිහා ඉස්කෝලේ ගියේ නුවර නෑයෙකුගෙ ගෙදර ඉඳන්. ඒත් හැම නිතරම උන්නේ ගමේ...නදින් මොහොතකට නිශ්ශබ්ද වූයේය. ඒ මූසල සිද්ධිය උණේ ඔය කියනා නිවාඩුවෙදීයි. ? දිගටම මොර සූරන වැස්සක් වැස්සා. ගඟ පිටාර ගැලූවා. පිංචි තමා උදේම නැගිටලා රෙහානා නැති බව දැනගෙන රිදීමත් එක්ක ගං ඉවුරට ගිහින් තිබුණේ !

මේ කිසිවක් පිංචි කෙල්ල තමාට නොකීවේ මන්දැයි රිදීමා කල්පනා කළාය. තමාගේ මනසේ මැවුණු දෙබස සිදුවූයේ රෙහානා හා නිශ්ක අතර නොවේද ? තමා සිතුවේ ඒ දෙබස වූයේ තමා හා නිශ්ක අතර කියා නේද ? රිදීමා මේසය මත හිස ගසාගත්තාය. රෙහානා වතුරට වැටෙනු, තමා කෑගසනු හා මහා ජල කඳ මැදට වැටී ගසාගෙන යනු ඇගේ මතකය පුරා දිව යන්නට විය. තමාගේ කෑගෑම නිසා ඒ දෙසට පීනා ආ නිශ්ක රෙහානා වෙනුවට බේරාගත්තේ තමා නොවේද ? අහිංසක රෙහානා ඒ ජලකඳ මැදට ගසාගෙන ගොස් අතුරුදහන් වූවාද ? ඇය මිය ගියාද ? ඇගේ සිරුර මොවුන් විසින් සොයාගනු ලැබුවාද ?

රිදීමා කෑ ගසමින් නැගිට්ටාය.

රෙහානා.... රෙහානා....නදින් හා අමා ඇය වත්තම් කොට ගත්තෝය.

දැන් ඒ හැමදේම වෙලා සෑහෙන කල්...නදින් හෙමිහිට පැවසුවේය.

ඔයාගේ මතකය එන්න, එන්න වැඩිවෙයි. දැන් ඔයාට බයවෙන්න දෙයක් නෑ. ඒකෙන් වද විඳින්න දේකුත් නෑ....අමාද පැවසුවාය.

අපි ඉක්මනට රිදීමව කොළඹ ගෙනිච්චා. මේ අනතුරෙන් පස්සේ එයාගේ මතකය නැතිඋණු එක ගැන අපි එක අතකින් සතුටු උණා.අම්මා ඔසරි පොටෙන් දෑස පිසදා ගත්තාය. මොනවාද හරියට උණේ කියන එක ගමේ අයටවත් හරියට තේරුණේ නෑ...

මොනවද උණේ කියල මටවත් තාම තේරෙන්නේ නෑ...නදින් ද පැවසීය.

දැන් කෝ රිදීමාගේ අම්මා ?” මහීකා  ප්‍රශ්න කළාය.

මේසය වටා යළිදු නිහැඬියාවක් පැතිර ගියේය. නැවත තම අසුනෙහි හිඳගත් රිදීමා කඳුළු වැගිරෙන දෑස නදින් අය්යා වෙත යොමු කළාය.

එයා ඉන්නවා කොළඹ පුද්ගලික රෝහලක. දැන් එයාට තරමක් සුවයි.

එතකොට එයාගේ අප්පච්චි ?”

එයාට අපි ලියුම් යැව්වා. බාගදා  මිනිහා ආපහු ඒවි...නදින් පැවසීය.

මොනතරම් දුක හිතෙන කතාවක් ද ?” අජය පැවසුවේය. ආදරෙන් බැඳුණු දෙන්නෙකුට එක්වෙන්න නොදෙන එක කොච්චර හානිකර දෙයක්ද කියලා දැන් පේනවා නේද ?”

ඒක නම් ඇත්ත !අමා පැවසුවාය.

ඒ දෙන්නම උගත්තු. අපූරු දරු දෙන්නෙකුත් හිටියා. දැන් හිටියා නම් ලස්සන පවුලක්අම්මා සුසුම් හෙලූවාය. රිදීමා අසන්නට ගිය  ප්‍රශ්නය වැටහුණාක් මෙන් ඇගේ දෙනෙත් රිදීමා දෙස යොමු වූයේය. අපි නිශ්කට අකමැති උණේ, කුල  ප්‍රශ්නයකටවත්, මුදල් ප්‍රශ්නයක් හන්දා නිසාවත් නෙවි. රෙහානගේ අසනීපේ නිසා. එයා විවාහයක් කරගෙන, දරුවන් හදන මානසික මට්ටමක උන්නු කෙනෙක් නෙවි... නිශ්ක එයාට කොච්චර ආදරේ කළත්, ආදරෙන් විතරක් පවුලක් රැකෙන්නේ නෑ. දෙපැත්තෙන්ම සහයෝගය නොලැබුණොත් ඒ ආදරේ කොයි මොහොතක හරි දෙදරලා යනවා. රිදීමගේ අම්මට උණෙත් ඒ දේමයි. ඒක දැන, දැන අපි රෙහානටත් ඒ
දේම කරන්නේ කොහොමද ?”

ඒක නම් ඇත්ත....අමා එකඟ වූවාය. නැති  ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා මිසක් ඇති  ප්‍රශ්නවල විසඳීමක් වෙන්නේ නෑ....

දැන් ඉතින් රිදීමට තියෙන්නේ අමම්ව බලලා ඇවිත් ඔයාගේ ඉගෙනීමේ වැඩ ඉවර කරගන්න...අජය පැවසුවේය. දැන් ඉතින් ලොකු ප‍්‍රශ්ණයක් විසඳුණානේ...

ඒකහරිමහීකා එකඟවූවාය. ඒත් ඉතින් තවත් කෙනෙකුටත් ඔය කතාව පැහැදිලි කරන්න වෙනවා නේද ?”

ඒ කවුද ?” දිනූෂ ඇසීය.

ඇයි නිශ්ක .....මහීකා කීවාය.

අඳුන් සිහින දහ අටවැනි කොටසින් නැවත හමුවෙමු.

Saturday, May 11, 2013

රෙහානා







අඳුන් සිහින දහසයවැනි කොටස

 රිදීමා පින්තූරය දෙස බලාගත් වනම බිමට පාත්වනු මහීකාත්, අමාත්, පිංචිත් දුටුවේ එකවිටය.

අම්මා...”  රිදීමාගේ මුවින් පිටවූයේද, සිතට ආ එකම සිතිවිල්ල වූයේද අම්මාය. බිත්තියේ එල්වා තිබුණේ සුදු මැණිකේගේ හෝ සුදු බේබිගේ පින්තූරයක් නොව අම්මාගේ පින්තූරයකි.

අමා, රිදීමා හාන්සි කළාය.

පිංචි ගිහින් කොට්ටයක් හොයාගන වරෙන්. සුදු බේබිගේ කාමරෙන් බේබිට පොරවන්න රෙද්දකුත් අරන් වරෙන්....

පිංචි මුදාහල කිරිල්ලියක් මෙන් ඉගිලූණාය.

මොකද උණේ ?” මහීකා ඇසුවාය.

මේ පොඩි කලන්තයක් !අමා පැවසුවේ, රිදීමා වෙතින් නෙත් ඉවතට ගනිමිනි. මෙතන නිකං මනුස්සයෙකුටත් හුස්ම ගන්න බැරි එකේ රිදීමාට කලන්තේ දාන එක පුදමයක්යැ.

හැබැයි ඒක උණේ අර පින්තූරේ දැකලා...මහීකා පැවසුවාය.ඒකේ ඉන්න ගෑනුකෙනා හරියට රිදී වගේ...ඊළඟට ඇය මුමුනාගත්තේ තමාටමය. අමාද සෙමෙන් නැගිට ඒ වෙත ආවාය.

ඡායාරූපයෙහි වූයේ, තාමත් තරුණ වියෙහි උන් කාන්තාවකි. ලිහිල්ව ගොතන ලද, රැළි ගැසුණු ඇගේ දිගු කෙස් කළඹ එක් උරයකින්, ළය මතට වැටිණි. ඇගේ උඩුකය වැසී තිබුණේ චාම්, සුදු බ්ලවුසයකිනි. උස්කර වටා රේන්දයක් දිවගිය අතර, ඒ අතරින් යැවූ රිබන් පටිය, ගෙල මුලට වන්නට ගැට ගසා තිබිණ. ඇය ඡායාරූපයට මුහුණ දී සිටියේ සිනාව උතුරන මුහුණකිනි. විකසිත දෑසකිනි. ඇය යොවුන් වියේදී රිදීමාබඳුම වන්නට ඇතැයි අමා කල්පනා කළාය. ඇගේ දෑස, සිනහව සියල්ලම රිදීමාගේ බඳුවිය.

අම්මගේ කපාපු පලූව...”  රිදීමා දෙස බැලූ මහීකා සිතුවාය.

කියලා වැඩක් නෑ....”  ඇගේ සිත දුටුවාක් මෙන් අමාද පැවසුවාය.

බිම දිගාව හුන් රිදීමාට, තම යෙහෙලියන්ගේ කතා නෑසිණි. ඇය සිටියේ වෙනත්ම ලොවකය. වෙනස් රූපරාමු ගොඩක් අතරය. තට්ටු නිවසකැයි සිතිය හැකි වූ වඩා විශාල නොවූ නිවසක, සාලයේ කුඩා රිදීමා හිඳ සිටියාය. ඇගේ මුහුණ සිනහවෙන් පිරී තිබුණේය. අම්මාඇය දෙස නැවී, කුමක්දෝ පැවසුවාය. රිදීමාගේ මුවට නැගුණේ සුරතල් වදනකි. අම්මා වෙතින් වහනය වූයේ කුමක් හෝ මල් සුවඳකි. අහවල් දෙය යැයි අල්ලා ගත නොහැකි අන්දමේ අපූරු, සියුම් සුගන්දයකි.  එක්කොට බැඳ තිබුණු කෙහෙරැළි අවුල්ව මුහුණට වැටී තිබිණි. ඇගේ මුහුණේ වූ සිනහව, රිදීමාගේ සිත පුබුදු කළේය. ඇය යමක් කියමින්, තමාට යමක් කවනු රිදීමා දුටුවාය. ඒ සමගම ඇය පසෙකට හැරී, තවත් කාටදෝ කවනු ඈ දුටුවාය.

දඩාං....අම්මා අතවූ පිඟාන විසිවී ගියේය. එහි වූ ආහාර සියල්ල සාලය පුරා පැතිරිණ.

ඇයි චූටි මැණිකේ ?” යැයි අසමින් සාලයට දිව ආවේ තරබාරු ගැහැනියකි. බියට පත් රිදීමා  හැඬීමට පටන්ගත්තාය. ඇය තුරුලට ගත් අම්මා, “නෝටි සුද්දිපසෙක වූ තවත් දැරියකට කීවාය. දැරියගේ මුහුණ දුටු රිදීමා තුළ පැතිරගියේ දැඩි ආදරයකි. සතුටකි. ශෝකය මිශ‍්‍ර පසුතැවිල්ලකි. එමෙන්ම බියකි. ඇගේ රුව රිදීමාට සමාන වූයේ, ඇගේ කෙස් කළඹ වඩා රැළි ගැසී තිබීමත්, ඒ දෑසෙහි වූ දඟකාර ගතියත්,දෙතොලෙහි වූ මුරණ්ඩු සිනාවත්ය. ඈ නිහ`ඩව අම්මා දෙස බලා සිටියාය.

මොකද මේ කළේ ?” අම්මා ඇසුවේ නෝක්කඩුවක ස්වරූපයෙනි.

සුදුමැණිකේ....රිදීමාගේ හද කෑ ගෑවේය.

රෙහානා.....අම්මා පැවසුවාය.

ඒ රිදීමාගේ නිවුන් සහෝදරියයි. දෙදෙනාම උන්නේ අවුරුදු පහක් පමණ වයසැති කාලයේ සිදුවෙමින් තිබූ රූපරාමු පෙළක් තුළය. සැණෙකින් එය වෙනස් වූයේය. කුඩා උද්‍යානයක ඔවුහු සෙල්ලම් කරමින් උන්නෝය. දිගුසායක් හැඳි තරබාරු ගැහැනිය, රිදීමා ඔන්චිල්ලාව මත තබා පැද්දුවාය. එය උඩයන වේගය පවා රිදීමාගේ හදවතට දැනුදු දැනුණේය. රෙහානා සිටියේ බිමවූ ගල්කැට අහුලමිනි.

චටාස් !යන හඬක් එකවරම ඇසුණේය. කෑ ගසා ඔන්චිල්ලාව අත්හළ ගැහැනියගේ නළලතින්  ලේ බිඳුවක් හැලූණේය. විසි වූ ඔන්චිල්ලාවෙන් කුඩා රිදීමා බිම වැටුණාය. අම්මා කොහෙන්දෝ මතුවූවාය. ඈ වහා දුවවුත් රිදීමා වඩා ගත්තාය. සුදුමැණිකේ යැයි යමක් කීමට තැනුවද, අම්මා ඊට ඉඩ නුදුන්නාය. රෙහානා බිම පෙරළෙනු, අඬනු ළඟට එන්නවුන්ට පයින් ගසනු රිදීමා  දුටුවාය.

ඒ ඇයි ?” රිදීමා ප්‍රශ්න කර ගත්තාය.

බේබිට බෙහෙත් දුන්නේ නැද්ද ?” අම්මා කාන්තාවගෙන් වමසුවාය.

දුන්නා චූටි මැණිකේ !කාන්තාව තවත් කඳුළක් පිසදාගත්තාය.

කමක් නෑ සුමනාවතී. අපි ගිහින් ඔය තුවලෙට බෙහෙත් ටිකක් දා ගනිමු.....අම්මා මඳකට නැවතී, ගැහැනියගේ නළල පරීක්‍ෂා කළාය.ලොකු තුවාලයක් නෑ. උඩින් පිපිරිලා විතරයි....තාමත් බිම පෙරළෙමින් උන් දැරිය මෙල්ලකළේ සුමනාවතිය. අම්මාගේ බෙල්ල බදාගත් ගමන් උන්නේ රිදිමාය. රෙහානාගේ දෙනෙතින් ගැලූ කඳුළු  ඈ මෙවර හොඳහැටි දුටුවාය.

තවත් රූපරාමුවක් ඇඳී, මැකී ගියේය. ඇය එවර උන්නේ නිදන කාමරයක වූ කුඩා ඇඳන් දෙකින් එකකය. උස්, මහත පුද්ගලයෙක්, රිදීමා තම උකුලේ තබාගෙන උන්නේය.සුද්දිව ඩොක්ටර් ළඟට ගෙනිච්චද ?” ඔහුගේ  හඬඉතා ගැඹුරු විය.

ඔව් ! අම්මා නැමී, නිදමින් සිටි රෙහානාගේ කුඩා පොරෝනය සකස් කළාය. ඇගේ දෑසෙහි වූයේ දුක්මුසු බැල්මකි. ඈ පහත්වී, කුඩා දැරියගේ මුහුණ සිපගත්තාය.

මම එන පහළොස්වෙනිදා  යනවා චූටි මැණිකෙ....අම්මා පහරක් වැදුණු එකියක මෙන් හිස එසවූවාය.

එතකොට අපි ?”

ඔයාට මාත් එක්ක එන්න කියලා කියන්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයිනේ ! මගේ ළඟට එන්නේ නැත්තේ ඔයයි....අම්මාගේ කපොල ඔස්සේ පැමිණි කඳුළක් පහළට රූරා ගියේය.

මම කොහොමද එහෙම එන්නේ?” ඈ ඇසුවාය. දැන්නම් රෙහානත් එක්ක කොහේවත් යන්න බෑ.හිඳ සිටි පුද්ගලයා, රිදීමා හෙමිහිට බිමින් තබා නැගී සිටියේය. ඔහු අම්මාගේ කම්මුලෙහි වූ කඳුළු බිඳුවක් සීරුවට පිස දමනු රිදීමා බලා සිටියාය.මම ඉක්මනින් එනවා චූටියේ. එතකල් ළමයි දෙන්නා බලාගෙන පරිස්සමින් ඉන්න...ඔහු ඉකිගසන අම්මා තම තුරුලට ගත්තේය. රිදීමා එම පුද්ගලයා වෙත ගොස් ඔහුගේ
දෙකකුල බදා ගන්නා හැටි වැඩිවිය පැමිණ සිටි රිදීමා දුටුවාය.

රිදී.... රිදී.....කවුදෝ ඇය සොලවනු රිදීමාට දැනුණේය.

ටිකක් ඉන්න. ඔච්චර හොලවන්න එපා.....කවුදෝ අණ කළේය. රිදීමා සෙමෙන් පියවි ලොවට පිවිසියාය. ඇය දෑස් හරින විට මහීකා, අමා මෙන්ම නදින් අය්යා, අජය සහ දිනූෂද එහි උන්නෝය.

මොකද මේ ?” නදින් අය්යා ඇගෙන් ඇසුවේය. ඔහුගේ දෑසෙහි පිරී තිබූ දුක, රිදීමා හඳුනාගත්තාය.

අපි යමු පහළට........තරුණයන්ගේද උදව් ඇතිව, නදින් අය්යා රිදීමා ඔසවා ගත්තේය. රිදීමා ඔහුට තුරුල් වූයේ ඉමහත් සෙනෙහසිනි. තරප්පු පෙළෙන් පහළට ඔවුන් තමා කෙසේ ගෙනාවාදැයි මතකයක් ඇය සතු නොවීය. යළි ඇස් හරිනවිට ඇය සිටියේ ඇගේ සුපුරුදු නිදන කාමරයේය. සියල්ලෝම තැන්, තැන්වලට වී ඇය
දෙස බලා උන්නෝය. සියලුම මුහුණුවල සටහන් වූයේ බරපතල බවකි.

රිදීමා හිඳගැනීමට තැනුවාය.

ඔහොම ඉන්න පොඩ්ඩක් හෙලවෙන්නේ නැතුව....අමා මෘදු ලෙස තෙපලූවාය. නදින් අය්යා මේසය අසල වූ පුටුවෙහි හිඳ හිස අත් ගසාගෙන උන්නේය. දිනූෂ දොර අසල බිත්තියට පිටදී උන් අතර අජය, සිටියේ මහීකා අසලින් සිටගෙනය.

ඇත්තටම මොකද මේ වෙන්නේ නදින් ?” අමා විමසූවාය. නදින් අය්යා කළේ හිස සැලීම පමණකි. අජය, දිනූෂ දෙස බැලීය. දිනූෂ බිම බලාගත්තේය.

දැන්වත් ඇත්ත කියන්න. මේක වහං කරලා අපි කාටවත් වෙන සෙතක් නැහැ. රිදීමාගේ හිත රිදෙනවා. අපෙත් හිත රිදෙනවා, නදින් !අමාගේ ස්වරය දැඩි වූයේය.

මේ රහස හන්දා බලන්න රිදීමා විඳින දුකක්. ඇත්ත කතාව කීවොත්, එයාගේ මතකයට එන්නේමෙන්න මේවාකියලා එයාට හිත හදාගන්න පුලූවන්. එයා ඒක කොච්චර පිළිගන්නවද, නැද්ද කියන එක අපට කියන්න බෑ. ඒත් ඒකෙන් එයාට මොනයම් ආකාරයට හරි ලැබෙන්නේ සැනසීමක්....

අම්මා දොර තීරය මෑත් කරමින් කාමරයට ඇතුලූ වූවාය. ඇගේ සෝබර මුහුණ දුටු රිදීමා තුළද ඇති වූයේ මහා දුකකි.

අම්මාඈ මිමිණුවාය. අමාද, මහීකාද රිදීමාගේ මව දෙස බැලූවෝය.

මේ නම් රිදීමාගේ මව නෙමෙයි....යන සිතුවිල්ල දෙදෙනාම එක්වර සිතුවෝය.

ඡායාරූපයේ උන් ගැහැනියට වඩා රිදීමාගේ මව බෙහෙවින් වෙනස් වූ නිසාය.


අඳුන් සිහින දහහත්වැනි කොටසින් නැවත හමුවෙමු.