Tuesday, April 30, 2013

අතීතයෙන් තොරතුරු බිඳක්





අඳුන් සිහින දොලොස්වැනි කොටස

අජය, සුමතිපාලගේ හිසේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂාකාරීව තම දෙනෙක් යැවීය. රියදුරකු යැයි පැවසුවත්, ඔහුගෙන් දක්නට ලැබුණේ අහිංසක, බයාදු පෙනුමක් නොව ගැඹුරු, නිහඬ වැදගත් පෙනුමකි. දැන් කාලයේ තරුණයකුටම ඔබිනා ශක්ති සම්පන්න බවක්ද ඔහුගේ දේහයෙන් පිළිඹිබු වූයේය.

දිනූෂද, රිදීමාගේ සොහොයුරු නදීන්ද ආලින්දයේ අසුන්ගෙන සිටියෝය. පළමුදා රාති‍්‍රයේ, රිදීමා ඇගේ නිවසින් බැස්සවූ ඔවුහු කෙළින්ම, දිනූෂලාගේ නිවසට පැමිණියෝය. සුමතිපාල උදෑසනින් ම මෙහි පැමිණ තිබුණේ, සිරිසේන කලින්ම යැවූ පණිවිඩියකට අනුවය. ඔහු ඍජු ලෙස ඔවුන් ඉදිරියෙහි සිටගෙන උන්නේය.

අජයට සිතුණේ ඔහු මහා ආඩම්බරකාරයකු බවකි. නදීන් අය්යා නම් ඒ ගණන්ගත්බවක් නොපෙනුණේය. දිනූෂ සිටියේ පුරුදු පරිදි සිහින ලොවක සැරිසරමිනි. රිදීමාද එහි කරක් ගසනවා ඇතැයි සිතූ අජයගේ කට කොණකට සිනාවක් නැගුණේය.

සුමති දන්නවද අපේ ගමේ හිටපු නැටුම් මාස්ටර්ව ?” ඇසුවේ, නදින් අය්යාය. කොහොමත් බැරෑරුම් පෙනුමක් වූ ඔහුගේ මුහුණින් පළවූයේ, අතිශය භාරදූර කටයුත්තකට තමා අත ගැසුවාක් වැනි සැකමුසු, කරදරකාරී බැල්මකි.

සුමතිපාල මඳක් කල්පනා කළේය.

එක්කෝ ඔව්, නැත්නම් නෑ..... ඔයතරම් කල්පනා කරන්නේ මොනවද ?” අජය සිතින් තමාටම කියා ගත්තේය. සිරිසේන බයාදු සිනාවක් පාමින් කතා කළේය.

උන්නැහැ සුමතිගේ කුඩප්පච්චි කෙනෙක් වෙච්චි.....

එවර නම් දිනූෂද හිස එසවූයේය.

එහෙමද ?” ඒ නදින් අය්යාය.  දැන් එයාලා කොහෙද පදිංචි ?”

හොයලා බලන්නම් සර්....

සුමති පිළිතුරු දුන්නේ මදක් කල්පනා කරලාය.

ඇයි එයාලා යන තැනක කියලා ගියේ නැද්ද ?” අජය ඇසීය. සුමති ඔහු දෙස බැලූවේ නැත. මේකේ මොකක් හරි හොරයක් තියෙනවා....අජය කල්පනා කළේය.
ඔයාගේ කුඩප්පච්චි කෙනෙක් කීවානේ. ළඟ නෑකමක්ද දුර නෑකමක්ද මම දන්නේ නැහැ. පවුල් දෙකේ අමනාපයක් නැත්නම් යනතැනක කියලා යයි නේද ?”
එවරනම් සුමති, අජය දෙස එක එල්ලේ බැලීය. ඒ දෑසේ ක්‍රෝධයක් ඇතිව, නැතිවී යනු අජයට පෙනිණි.

එයාලයි, අපියි අතර සම්බන්ධයක් නැහැ සර්. කාලෙකට ඉහතදි උණු සිද්ධියක් හන්දා අපි දෙගොල්ලො වැඩි ආශ‍්‍රයක් නෑ....සුමති සිහින් සරින්, නදින් අමතා පැවසීය.

එයාලා ගමෙන් ගියේ නැහැ. යන තැනට වැඩේ සිද්ධ කරගත්තා...සිරිසේන මිදුලට බැස බුලත් කෙළ පාහරක් ගැසීය. ඔහුගේ ගෙල මුල වූ කොණ්ඩා ගැටය දිස්වූයේ, කුඩා කරුංකා ගෙඩියක් වැනිවය.

ඒකට හේතුව ?” දිනූෂ විමසීය.

ඒක දිග කතාවක් සර් !

මම හිතන්නේ අපි හැමෝටම  ඕනතරම් වෙලා තියනවා දිගකතා අහගන ඉන්න....අජය උලුවස්සට හේත්තු වූයේය. මෙච්චර දුරක් අපි ආවෙත් ඔය දිග කතා අහගන්නම තමයි !සියල්ලෝම මුවින් නොබැන මද වේලාවක් උන්නෝය.

උදේට කිරිබත් හදලා මාලු හොද්දකුයි, කට්ට සම්බෝලකුයි හැදුවා මහත්තැන්ලට. නෝනලා ටික නම් තාම නිදි මයෙ හිතේ.....

සිරිසේන නිහඬතාවය බින්දේය. සුමති සුසුමක් හෙලීය.

සර්ලා කෑම කාලා එනකල් මම මෙහෙන් ඉන්නම්.....මිතුරෝ එකිනෙකා දෙස බැලූහ.

මොකද කියන්නේ ?” දිනූෂ, අජයගෙන් ඇසීය.

මම කියන්නද ? ඔක්කොම කෑම මේසෙට යමු. සුමතිටත් පිඟානක් තියන්න සිරිසේන. අපි කෑම කන ගමන් කතා කරමු.....අජය සිරිසේනට පැවසුවේය. නෝනලට මහන්සි ඇති. කැමති තරමක්  නිදාගත්තාවේ !

සුමති මේසෙට වාඩි වූයේ, කැමැත්තෙන් නොවේ.

මම කුස්සිය පැත්තට ගිහින් කාලා එන්නම් සර්....ඔහු කිහිපවතාවක්ම දිනූෂට කීවේය.

පිඟානට කිරිබත් කැබලි කිහිපයක් බෙදාගත් අජය, “දැන් කියමුකො බලන්න....විධානය කළේය.

නැටුම් සර් මගේ කුඩප්පච්චි කෙනෙක් වෙච්චි. ඒත් අපි ළඟ ආශ‍්‍රයක් තිබුණෙ නෑ සර්... මගේ අප්පච්චි නිකම්ම නිකං බෙරවායෙක් විතරයි. මමත් ඉගෙන ගත්තු එකක් නෑ. ඒත් ඒ පවුලෙ පුතෙක් හිටියා හොඳට ඉගෙන ගත්තු....

දිනූෂ හිස එසවූයේය.

කෝ එයා දැන් ?”

මං දන්නේ නෑ සර්...

සුමති කතාව කියන්න...අජය මාලූ කෑල්ලක් පිඟානට දමාගත්තේය. මොනවා නැතත් සිරිසේන මාලූ හොද්දට හොඳින් මිරිස් දමා තිබුණේය. ඒ පුතයි, ඉස්කෝලේ ලොකු මහත්තයගේ දුවයි අතර පොඩි සම්බන්ධයක් තිබිලා තියනවා...

සුමති හොරැහින් නදින් අය්යා දෙස බලනු අජය දුටුවේය. එතනදි ලොකු පටලැවිල්ලක් වෙලා තමයි එයාලා ගමෙන් ගියේ...”  සුමතිගේ මුහුණ දිස්වූයේ ගලෙන් නෙලූවාක් මෙන් හැඟීම් විරහිතවය.

සිරිසේන තේ කෝප්ප සහිත බන්දේසියක් කෑම මේසය වෙත ගෙනාවේය.

ලොකු මහත්තයාගේ දුවක් ගෙඟ් ගිහින් මළාද සුමතියෝ !

නදින් තිගැස්සුණේය. සිරිසේන දෙස බැලූ සුමතිගේ දෑසෙහි වූයේ ක්‍රෝධයකි.

ඒකත් මම හරියටම දන්නේ නැහැ. අපි උන්නේ මේ ගමේ... ඒ ගමේ උණු දේවල් අපි හරියටම දැනගෙන හිටියේ නැහැ...

නදින් තමාගේ පිඟාන පසෙකට තල්ලූ කළේය.

ගෑනු ළමයෙක් වතුරට ගහගෙන ගිහිං මැරුණොත් ඒක අහල ගං හත අටකට ආරංචි වෙනවා නොවැ....සිරිසේනද කට පියාගෙන හිටියේ නැත.

ඒත් මේ රටේ මිනිස්සුන්ට සල්ලිවලින්  ඕනැම දෙයක් වහගන්න පුලුවනි... සර්ලා මෙහෙම කියනවට මට සමාවෙන්න  ඕනි !

නදින් තමා දෙස බලන අජයගේ දෑස් මඟ හැරියේය.

ගෑනු ලමයෙක් මළා කියනවා. බේරගත්තා කියනවා. පිටරට ඇරියා කියනවා...... මම දන්නේ නැහැ සර් !සුමති පැවසුවේ අජයටය.

හොඳයි සුමති ඔය කියන කුඩප්පච්චිගේ පුතාගේ නම මොකක්ද ?”අජය පෙරලා ඇසීය.

අපි නම් එයාට කීවේ බණ්ඩාර කියලයි....යහලුවෝ එකිනෙකාගේ මුහුණු බැලූහ.

හානේ මෙයාලා අපිට නොකියම කෑමත් කනවා....කියමින් හරියට වෙලාවටම එහි ඇතුල්වූයේ මහීකාය. හලෝ !....ඇය මේසය වටා තම දෙනෙත් යැවුවාය.

කවුද මේ ? මෙයා නිශ්ක වගේ....සුමති දෙස බැලූ ඇය, පුටුවක් ඇද ඔහු ළඟින්
හිඳගත්තාය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

රිදීමාට දැනුණේ පාලුවකි. යහලුවන් සමඟ දිනූෂලාගේ නිවසට යාමට, දෙමව්පියන් ඉඩ නොදීම ගැන ඇයට ඊයේ  ප‍්‍රශ්ණයක් නොවූයේ ගමන් මහන්සිය නිසාය. එහෙත් දැන්නම් සිතෙන්නේ, ඔවුනුත් සමඟ තමනුත් ගියානම් හොඳ බවය. අද හවසට තමා බැලීමට එන බව මහීකා දෙතුන්වරක්ම පැවසුවාය. එහෙත් හවස්වීම සඳහා බොහෝ වේලාවක් තිබුණි.

සුදු බේබියෝ නාරං  ඕනද ?” මිදුලට බට ඇගෙන් පිංචි කෙල්ල ඇසුවාය. රිදීමා බැලූවේ අහස දෙසය.  ඕස්ටේ‍්‍රලියාවෙහි මෙන් විසල්, පැහැදිලි අහසක් මෙහි දක්නට නොලැබුණේය. බැලූ, බැලූ අත දක්නට වූයේ ගස් කොළන්ය. හිරු එළිය වුවද බිම පතිත වූයේ ඒවා අතුරින් වීම නිසා පරිසරයෙහි වූයේ අඳුරුබවෙකි. මඳ සීතලක්
දැනුණෙන් ඈ වෙව්ලූවාය.

නැත්නම් ගඟ පැත්තේ යමුද ?” පිංචි කෙල්ල යළි ඉඟි කලාය.

මෝඩිරිදීමාට කියැවිණි.

සුබරත්න මැණිකේ උයන ගෙහි යමක් කරන හඬ ඔවුනට ඇසිණි.

අම්මා බනීද දන්නේ නෑ නේද ?”

සුටුස් ගාලා ගිහින් එමු...

පිංචි කෙල්ලට හෙමින් ගමනක් ඇත්තේම නැත. බලාගෙන ඉන්නේ උඩින් දුවන්නටමය.

හිමින් යං පිංචියේ !ඇය පසුපසින් ගිය රිදීමාට සිහි වූයේ ඇය වරක් දුටු සිහිනයයි.
මහවැලි ගඟ වතුරෙන් පිරී තිබිණි. ඝනඩ වැඩුණු ගස්කොළන් කොළ මිශ‍්‍ර දුඹුරු චිත‍්‍රයක් සිහි ගැන්වීය. බටගොල්ල යට, ගඟ අයිනේ හිඳ උනන් තරුණයා නිශ්ක බව රිදීමා, ඔහු නොදැකම දැනගත්තාය.

එයා අද බටනලා පිඹින්නේ නැහැ. ඒත් ගමේ කෙල්ලෝ එනවා.....පිංචි පැවසුවාය.


අඳුන් සිහින දහ තුන්වැනි කොටසින් නැවත හමුවෙමු.

Friday, April 26, 2013

ගම රට බලායද්දී






අඳුන් සිහින එකොලොස්වැනි කොටස


අජය බීර වීදුරුව තොල ගාමින් සිටි සිය සගයා දෙස නිහඬව බලා සිටියේය. දිනූෂ මෙලෙස හැසිරෙනවා ඔහු කවදාවත් දැක තිබුණේ නැත.

මොකද බං උඹට වෙලා තියෙන්නේ ?” අජය ඇසුවේ බලා හිඳ බැරිම තැනය. කියන්න තියෙන දෙයක් කෙළින්ම කියපංකෝ මෙතන පිස්සු කෙළින්නේ නැතිව....ඔහු පැවසුවේ සිතේ නැග එන තරහව මැඩගැනීමට
අසාර්ථක උත්සහයක් දරමිනි. උඹත් රීදීමත් අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැනේ. ඉතින් මොකද මේ
නහින්න හදන්නේ ? අනෙක එදා ඒකිම ඇඬුවනේ එයාට අර මොකාද එකා මතක නැහැ කියලා....

නිශ්ක මෙනෙහිවත්ම, දිනුෂට සිතුනේ සිහිය නැතිවනතුරු බීමටය. රිදීමා අමතක කිරීමටය. එවිට තමාගේ හදෙහි තෙරපෙන, සුළි සුළඟක් බඳු මේ සිතිවිලි කන්දරාව මැකිය හැකි වෙතැයි ඔහු සිතුවේය. එහෙත් තමා අත් නොහැර සෙවණැල්ලක් මෙන් ළඟින් හුන් අජය නිසා ඔහුට එය කළ නොහැකි වූයේය.

මේ ! උඹගෙ අම්මටයි අප්පච්චිටයි වග කියන්න  ඕන මම. උඹට  ඕන නම් බියර් වීදුරුවක් බීපන්.... වෙන මුකුත් හෙම කටේ තියනවා නෙමෙයි.අවන්හලට ගොඩවැදුණු හැටියේ ඔහු පැවසුවේය. අනෙක ආපසු යනවිට කාරය එළවීම සඳහා සිහි ඇති කෙනෙක් සිටිය යුතු බැවින්, නොබී සිටීමටද තීරණය කළේය. අජය එසේ හැසිරෙනු දිනූෂ ද දැක තිබුණේ නැත. අජය තව තවත් මොනවදෝ දිගටම කියවනු දිනූෂ දුටු මුත්, ඒ මොනවාදැයි වටහා ගැනීමට ඔහු උත්සහ නොදැරුවේය. පෙනුණේ මුව සෙලවීම පමණකි. අජය විස්තර කරමින් සිටියේ , මේ හැමදේටම හොඳ විසඳුම වන්නේ ප්‍රශ්නයේ මුල සොයා ගැනීම බවය. වෛද්‍ය විද්‍යාවට අනුවද රෝගයට හොඳින් ප‍්‍රතිකාර කළ හැක්කේ එවිටය. එමෙන්ම නිසි ප‍්‍රතිකාර, නිසි වේලාවට නොලැබුණහොත් වන්නේ රෝගය උත්සන්නවීමය. හැකි ඉක්මනින් ලංකාව බලා පිටත්විය යුතු යැයි අජය කල්පනා කළේය.

අපි දැන් යමු. දැනට ඔය ඇති....බියර් බෝතල් තුනක් හිස් කළ දිනූෂ වෙත හැරෙමින් හේ පැවසීය.
වීදුරුව තුළ වූ යමක් දෙස ඉතා උවමනාවෙන් බලා සිටි දිනූෂ, අකමැත්තෙන් නැගී සිටියේය.

මට උඹෙන් ප‍්‍රශ්නයක් අහන්න තියෙනවා....

අජයගේ ඇහි බැමක් එසැවිණි.

ඒ මොකක්ද ?”

උඹ මහීකාට කතා කරන්නෙත් ඔය භාෂාවෙන්මද ?” අජය හඬ නගා හිනැහුණේය.


මහීකාගේ උත්සාහය නිසා යාන්තම් ලංකාවට යන නඩය එකතු කරගැනීමට ඇයට හැකි වූයේය.
දිනූෂට තදින් ආදරය කළ මව, ඔහුගේ සිතේ අමාරුව තේරුම්ගත්තී, ඔහු ලංකාවට යැවීමට කැමති වූවාය. නිවාඩුවක් ලැබුණු රුචිරා කල්පනා කළේ නිවසේ නතරව අමතර රැකියාවක් කොට මුදල් ටිකක් හම්බකර ගැනීමටය. ඒ අදහසට අනෙක් අයද කැමති වූවෝය. නිවස බලා ගැනීමට යමකු සිටිනා නිසාත්, අවශ්‍ය
විටක මේ පැත්තෙන් යමක් කරගැනීමට අයෙකූ ඉන්නා නිසාත්ය. නඬේ ගුරා වූයේ අමාය. අවශ්‍ය උපදෙස් ලැබුණේ ඇයගෙනි. ටිකට්පත් මිලදී ගැනීම, යන එන දින අනෙක් අය හා සාකච්චා කොට තීරණය කිරීම වැනි දෑ සංවිධානය කළේ මහීකාය. නඩය ආරක්‍ෂා කිරීම අජය භාර ගත්තේය. දිනූෂ ඒ කිසිම දේකට ඇඟිලි නොගැසුවේය. රිදීමා නම් සිදුවන කිසිදෙයක් ගැන තැකීමක් නොකළාය. කිසිවක් තැකීමට තරම් සුදුසු මානසික
මට්ටමක ඈ නොසිටියාය.

සවස හයකුත් ගණනකට වූ සිංගප්පූරුව බලා යන ගුවන් යානය ගැනීම සඳහා මෙල්බර්න් ගුවන් තොටුපළට ඔවුහු එක් සිකුරාදා සවසක එක් වූවෝය. වෙනදා මෙන් ගුවන් තොටුපොළෙහි වූයේ කලබලකාරී බවෙකි. කලෙකින් ලංකාවට පය නොගැසූ දිනූෂට පවා යම් උද්යෝගයක් ඇතිවෙමින් තිබුණේය. ඔහුගේ සිතට අමාරු වූයේ රිදීමා දෙස බැලීමය.
ඇය සිය යෙහෙළියන් දෙදෙනාට මැදිව හිඳ සිටියාය. නිදි මැරීම හා හැඬීමෙන් වෙහෙසට පත් වූවාක් මෙන් ඇගේ දෙනෙත් වටා දම් පැහැයකින් අඳුරුව තිබෙනු ඔහුට පෙනිණි. දිගු ඇස් පිහාටුවලද වූයේ වෙනදාට වඩා තද කලු පැහැයකි. රිදීමාට දැනුණේ, තමා මුලූමනින්ම ගල් ගැසුනාක් වැනිවය. එම ගල් හදවතට සිතුවිලි කිසිවක් ඇතුලූවීමට ඈ ඉඩ නුදුන්නාය. එළඹෙන මොහොතේ ජීවත්වීම පමණකි ඇය කළේ !

පුතා ඔයාලට නුවර අපේ ගෙදර නවතින්න පුලුවෙනි. මම අප්පුහාමිට කියලා ඔක්කොම ශුද්ධ පවිත‍්‍ර කරලයි තියෙන්නේ....දිනූෂගේ මව පැවසුවාය. රිදීමාව ගෙදර බස්සලා ඔයාලට එහේ යන්න පුලූවන්. නැත්නම් රිදීමටත් එහෙ නතරවෙන්න පුලූවන්....මව සිනා සෙමින් රිදීමා ළඟින් හිඳගත්තාය. ඒකට දුවලගේ අම්මලා නම් කැමතිවෙන එකක් නෑ....

නැන්දම්මා හදන්නේ පුතාට කියලා එකපාරම මනමාලි කැන්දවා ගෙන ගිහින් වැඬේ අහවර කරලා දාන්න.අජය මහීකාට පැවසුවේය. ඈ ඔහුට වැලමිටෙන් ඇන්නාය.

මෙහෙමත් කටක් !ඇයට සිතුණේය.

ඉතා කල්පනාකාරී, ප‍්‍රසන්න පුද්ගලයෙකු වූ දිනූෂගේ පියාද, මවද කතාව අනුමත කළේය.
ඔයාලට අවශ්‍ය හැමදේම සිරිසේන ලෑස්ති කරලා ඇති. කාර් එකත් ගරාජ් එකේ.... ඔයාලා එලවනවට වඩා හොඳයි සුමතිපාල ගෙන්නගත්තා නම් ! සිරිසේනට කීවා නම් මිනිහා පණිවිඩයක් යවයි....දිනූෂ හිස වැනුවේය.

හරි අප්පච්චි බයවෙන්න දෙයක් නෑ.ඔහුගේ හඬට රිදීමා හිස එසවූවාය. ඔවුන්ගේ දෙනෙත් මොහොතකට මුණ ගැසුණි. ඔහුගේ දෑසේ පිරී තිබූ ආදරය තමාගේ ගතට සැලූ පවන් පොදක් මෙන් ඇයට දැනුණි. එහි
උණුසුමින් ඇගේ ගල්වූන හදවතද දෙදරා යතැයි බියවූ ඇය බිම බලා ගත්තාය.

මම මේ හැමදෙනාම හොඳින් බලාගන්න පොරොන්දු වෙනවා අංකල්...... අපි කොහොමටත්
ඩේලි රිපෝට් එකක් දෙන්නම්....අජය පොරොන්දු වූයේය.

ඒකට නම් බයවෙන්න දෙයක් නෑ. ආන්ටි ඔයාලට එපා වෙනකම් දවසට හත් අටවතාවක්වත් කතා කරයි....
සියල්ලෝම සිනාවූවෝය.

මෙයා ඔහොම කිව්වට හවසට ගෙදර ආපු ගමන් අහයි, අද පුතා කතා කළේ නැද්ද ? කතා කළේ නැත්නම් ඇයි ඔයා කතා කරලා බැලූවේ නැත්තේ කියලා. අන්තිමට කරදරකාරී විදියට අහුවෙන්නේ මම......පැවසූ මව සිනහවූවාය. දිනූෂගේ මුවගද සිනහවක් ඇඳුනේය.

අමා ගමන් මලූ හරිදැයි බැලූවාය.

දැන්නම් අපි ගියොත් හොඳයි කියලා හිතෙනවා......ඈ රිදීමා අතින් අල්වාගෙනම නැගී සිටියාය.

සියල්ලන්ම තමන් උන් තැන්වලින් නැගී සිටියෝය. දිනූෂ පහත් වී දෙමව්පියන් වැඳ, අනතුරුව
ඔවුන් සිප වැළඳගෙන සමු ගත්තේය. සියල්ලෝම ඔහු අනුකරණය කළෝය.

මිනිස්සු බලයි මොකද මේ කියලා.....දිනූෂගේ මව හිනැහුණාය.

දුව සන්තෝසෙන් ඉන්න ! ඔයා ගෙදර යනවනේ අම්මයි, අප්පච්චියි ළඟට.....ඈ රිදීමා සිප ගත්තාය. රිදීමාට ඇගේ උණුසුමින් මිදීමට බැරි බවක් දැණුනේය.

හොඳයි ආන්ටි !ඈ සුසුමක් හෙලූවාය. සිය ගමන්මලූ රැගත් දරුවන් නොපෙනී යන තුරු, දිනුෂගේ මව බලා සිටියාය. දුප්පත් කෙල්ල.....ඔවුන් නොපෙනී ගිය පසු, ඈ තම සැමියා දෙස බලා පැවසුවාය.



ගුවන්යානය තුළ, යෙහෙළියන් තිදෙනාට මැද පෙලක අසුන් තුනක් ලැබුණේය. ඔවුනට කෙළින්ම එහා පෙළේ අජයද, දිනූෂද හිඳ ගත්තෝය. එහි කොනේ වූ අසුනෙහි හිඳි අජය හා පහසුවෙන් කතා කිරීම සඳහා මහීකා
කෙළවර අසුන් ගත්තාය. රිදීමා සිරිත් පරිදි සිටියේ යෙහෙළියන් දෙදෙනාට මැදිවෙලාය. රාතී‍්‍ර ආහාරයෙන් පසු අමා හරිබරි ගැහුණේ නින්දක් නිදාගැනීමටය. ඉවර කළ යුතු වැඩ රැසක්වූ බැවින් ඇයට පිට පිට දින කිහිපයක් නිදි වැරීමට සිදුවූයේය. ඒ සියල්ල අල්ලා ගැනීම සඳහා පැය කිහිපයක් නිදා ගත යුතු යැයි ඈ කල්පනා කළාය. නින්දක් ඒවිදැයි නොදත් මුත් රිදීමාද කම්බිලිය තුල ගුලිවී, දෑස් තරයේ පියා ගත්තාය. නිදිමත එනතුරු මහීකා තැත්කළේ අලුත් චිත‍්‍රපටයක් නැරඹීමටය. දිනූෂ හා අජයද කුමක් හෝ නරඹනු ඈ දුටුවාය.

ගුවන්යානය තුළවූ එළි එකින් එක නිවී ගියේය. එකකු, දෙන්නෙකු කියවීම සඳහා පාවිච්චි කළ එළියක් පමණක් තැනින් තැන දක්නට ලැබිණි. චිත‍්‍රපට කිහිපයක් බැලීමට තැත්කළ මුත් මහීකාගේ සිත ඊට ඉඩ දුන්නේ නැත.
පියවිලෝකයේ තමා දකිනා සිනමා පටය ඊටවඩා ඊට වඩා අලංකාර යැයි ඈ තමාටම කියාගත්තාය. ඊ ළඟට තමා මෙතෙක් දල්වා සිටි එළිය නිවා දැමූ ඇය , එහාට මෙහාට හැරීම නිසා බිමවැටුණු තමාගේ කුඩා කොට්ටය අහුලා ගැනීම සඳහා නැමුණාය. ගුවන්යානයේ පසුපසට ගමන් කරමින් සිටි යමෙක් ඇයට ඉඩදීම සඳහා නතරවූයේය. කොට්ටය අතින් ගත් මහීකා, හිස එසවූයේ සමාව අයදීමටය. තමා අසල සිටගෙන උන් පුද්ගලයා දුටු ඇයට කීමට ආ දෙය සම්පූර්ණයෙන් අමතක වූයේය. අඩ සිනහවකින් ඇයට සංග‍්‍රහ කළ නිශ්ක නිහඬව එතනින් ඉවත්වනු ඈ අයාගත් මුවින් බලා සිටියාය.


අඳුන් සිහින දොළොස්වැනි කොටසින් නැවත හමුවෙමු.