Monday, April 1, 2013
අවන් හලේ දුටු ඒ ආගන්තුකයා කවුද?
අඳුන් සිහින - පළමුවෙනි පරිච්ඡේදය
මහීකාගේ තොරතෝංචියක් නැති කථාවෙන් ගැලවෙනු සඳහා රිදීමා සියනෙත් ඉවතට ගත්තේත්, කවුන්ටරය අසල මුදල් ගෙවා අවසන් කළ තරුණයා හිස ඔසවා බැලූවේත් එක්විටමය. තද පහරක්හිසට වැදුණාක් මෙන් රිදීමා තිගැස්සී ගියාය. සියල්ල මොහොතකට නැවතිණි. ඊළඟ මොහොතේ ගැහෙන්නට පටන්ගත් හදවතේ කොණකින් නැග ආ සියුම් වේදනාවක් ඇගේ ගත පුරා පැතිර ගියේය.
උතුරු ඉන්දියානුවකු සතු ඡවි වර්ණයකින් යුත් උස්, සිහින් දේහධාරී තරුණයා, උරහිස දක්වා වු තම කෙස් කළඹ ගෙල මුලට පීරා පෝනිටේලයක් සේ ගැට ගසා උන්නේය. එක් කණෙක වු කුඩා කරාබුව තරු කැටයක් මෙන් දිළිසුණී. ඔහුගේ තියුණු නෙත් සඟලේ වුයේ ප‍්‍රශ්ණාර්ථයකි. මුවෙහි වුයේ සරදම් සිනහවකි. තමා හොඳින් දන්නා මොහු කවුද? මහීකා, තමා කවුන්ටරය කරා ගෙනයනුත්,කෝපි කෝප්ප දෙකක් ඇණවුම් කරනුත් රිදීමා දුටුවේ සිහිනෙන් මෙනි.
මහීකා ගෙනා කෝපි කෝප්පය ගත් ඇගේ දෑත සැලූණේය.
”රිදී මොකද එකපාරට අමුතු වුණේ. ? ඒ මහීකාය. රීදීමා අපහසුවෙන් තම දෑස යෙහෙළිය වෙත යොමු කළාය.
”ඔයා දැක්කට දැන් ටිකකට කලින් අතන හිටපු බෝයි?”
”නෑ ඇයි?
එයාව මම හොඳට දන්නවා ”
”ඉතින් ඔයාට කථා කරන්න තිබුණනේ”
මහීකාගේ ලෝකය ඉතා සරලය. ප‍්‍රශ්ණයක් ඇත්නම් ඊට පිළිතුරක් අත ළඟම ඇත.
”මම එයා හොඳට දන්නවා ” රිදීමා මිමිණුවාය. ” ඒත් මට මතක නැහැ මට එයා මුණගැහුනේ කොහේදි ද කියලා මහීකාගේ කිකිණි සිනාහඬ පැතිරුණේය. කීපදෙනෙක් හැරී, ඔවුන් දෙස බැලූහ.
“ඒකනම් නියම කථාවක් තමයි. මම එයාව හොඳට දන්නවා.... ඒත් මට එයාව මතක නෑ. ඕක නම් පුරාණ ආදර කථාවක් ....”
යළිත් අර වේදනාව හදවතේ කොණක ඉපිද ගතපුරා දිවයනු රිදීමාට දැනුණේය. මුලින්ම තමාගේ නම ඇසු වේලාවේ, මහීකා සිනාවුයේද මෙලෙසය.
”රිදී ..... අපුරු නමක් ” ඇය පැවසුවා රිදීමාට මතකය.
”අපුරුයි තමයි. ඒකෙ තේරුම ‘ආදරයෙන් පිරුණු’ කියන එක ... ” තමා ඇයට පැවසු හැටිද රිදීමාට අද මෙන් මතකය.
රිදීමාගේ නිසල වත දුටු මහීකාගේ මුහුණද වෙනස් වුයේය.
”සොරි රිදී.... මම විහිළුවක් කළේ. අපි දවසක ඒ බෝයිව හොයාගන කථා කරලා බලමු. අඩු ගණනේ එයාටවත් මතක තියෙයිනේ ඔයාව මුණ ගැහුනේ කොහේදිද කියලා .... ”
සිසුන් දහස් ගණනක් ඉන්නා ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක හදිසියේ වරක් දුටු තරුණයකු සෙවීම, පිදුරු ගොඩ ඇති ඉදිකටුවක් සෙවීමට වඩා අමාරු බව ඈ නොකීවාය.
”අපි ජර්නලිස්ට්ලා වෙන්න පුරුදු වෙන අය, ඔය වගේ පොඩි රහස් පරීක්ෂක වැඩක් කරන එක මොකක්ද?”
හිටිහැටියේ ධාරාණිපාත වැස්සක් කඩාවැටුනේ ඔවුන්, මහීකාගේ කාරය වෙත දිවයද්දීය. ගිම්හාන කාලයේ සෙල්සියස් අංශය හතලිහ පමණ දක්වා ඉහළ යන දරාගතනොහැකි උෂ්ණත්වය, හිටි ගමන් පහළ බැස්සේ මෙවැනි කෙටි වැහි නිසාය.
කාරයට නගිද්දී දෙදෙනාම උන්නේ තෙතබරිවීලාය. මහීකාගේ කබල් ටොයෝටා රථය එක්වරම ප‍්‍රාණවත්වීම ගැන ඈ දෙවියන්ට පින්දුන්නාය.
”ගුඞ් ගර්ල් .... ” මහීකා රියේ සුක්කානමට තට්ටු කළාය. ”මෙයා කවදාවත් මට කරදරයක් කරන්නේ නෑ ”
රිදීමා හිනැසුණේ යාන්තමට ය. ගෙදරට කරදර කොට, ඩොලර් දෙදහස් පන්සීයකට ගත් කාරය අතරමග නතර වුවහොත් කරදරයෙහි වැටෙන්නේ මහීකා පමණක් නොවේ. දැනටමත් එමගින් එහාට, මෙහාට යාමට පුරුදුව සිටින තමාත්ය.
විශ්ව විද්‍යාලයේ සිට නිවසට කීලෝ මීටර ගණනාවක් යායුතු විය. ඇද හැලෙන වැස්සේ සැරට පාර හරියට පෙනුණේත් නැත. පාර දෙපස එකතු වු වැහි වතුර, සැඩ පහරක් සේගලා බසිනු කාරයේ ලයිට් එළියෙන් රිදීමා දුටුවාය. වේගයෙන් වැඩ කළ දුප්පත් වයිපරයේ හඬ සිත මෝහනය කරන්නාක් බඳු විය. දිව යන සැඩ පහර තමගේ ගතෙහි වෙලී, තමාද, ඒ සමග ඇදගෙන යන බවත් රිදීමාට දැනුණේය. තමාගේ සිරුර ගල් , මුල්වල හැපී සිරී යන බවත්, ”සුදු මැණිකේ .... ” යනුවෙන් කවුදෝ කෑගසන හඬක් ඇයට පැහැදිලිව ඇසුණේය.
“රිදීමා .... රිදීමා ....” මහීකාගේ හඬින් ඈ අවදි වුවාය.
“අපි ආවා…”
ඔවුන් වාසය කළේ සිංහල ජනතාව බහුල පෙදෙසකය. එහෙත් වාසනාවකට මෙන් ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ, නගරයෙන් ඈතට වන්නට, පාළු පරිසරයක, විදී කොණකය. පැරණි උඩුමහල් නිවසක් වු එහි, ඔවුන් සමග තවත් සිසුවියෝ දෙදෙනෙකු වුහ. එකම විද්‍යාලයක උගත් අය බැවින්, ඔවුන් අතර බලවත් එකමුතුකමක් තිබිණ.
”අමායි, රුචියි තාම ඇවිල්ලා නෑ වගේ ... ”
මහීකා යළිත් තෙපලාය. මම දුවලා ගිහින් ෂවර් එකක් අරගෙනම එන්නම්... ”
රිදීමාද, ඇය සමඟින් උඩු මහලට නැගුණාය.
එහි වු කාමර තුනෙහි ඇයද, මහීකා ද, රුචිරාද වාසය කළෝය. පහළ තට්ටුවෙහි වු නාන කාමරයක් සහිත ලොකු නිදන කාමරය අමා පාවිච්චි කළාය. වෛද්‍ය ශිෂ්‍යාවක වු ඇය, නිවසෙහි කුලියෙන් හරි අඩක් පමණ ගෙවුවාය.
පොත් බෑගය මේසය මත අත්හල රිදීමා ඇඳට වැටුණේ මහන්සියෙනි. ඇය මේ රටට පැමිණ ගතව තිබුනේ මාසයකටත් අඩු කාලයකි. ඇගේ ලට්ට ලොට්ට තවමත් කාමරය පුරා පැතිර තිබුණේය. ජනේලය අසල වු පොත් රාක්කය හිස් වු අතර, පොත් මිටි කිහිපයක් ඒ අසල බිම දක්නට ලැබිණ. ඇඳට උඩින් බිත්තියෙහි එල්වා තිබුණේ කි‍්‍රෂ්ණා බටනලාව වයන, රාමු කරන ලද චිත‍්‍රයකි. එය කවුරුන් විසින් කවරදා එහි එල්වුවක් දැයි අයට මතකයක් නොවීය. එහෙත් චිත‍්‍රයෙහි රාධාගේ අඩුව නම් ඇයට හොඳින්ම දැනුනේය. ක්‍රිෂ්නාගේ රුව දෙස නෙත් යොමා සිටි ඇගේ මනස යළිත් ඇදී ගියේ, සවස් වරුවෙහි තමා දුටු තරුණයා කෙරෙහිය. ඔහුගේ දෑසෙහි ප‍්‍රශ්ණාර්ථයක් වුයේ, තමා ගල් ගැසුනාක් මෙන් ඔහු දෙස බලාසිටී නිසාවත්ද? ඒ මුවගට නැගුණු සිනාවෙහි සරදමක් වුයේ, ඔහු පමණක් දන්නා තමා නොදන්නා රහසක් ඔහු දැන සිටි නිසාද? කැටයම්කරුවකු විසින් වාත්තු කළාක් බඳු ඔහු කවුද? පින්තූරයේ සිටි කි‍්‍රෂ්ණා වෙනුවට, ඔහු බටනලාව පිබිනු බලා ගැනිමට රිදීමා අසීරු ප‍්‍රයත්නයක යෙදුණාය.
කවුදෝ දොරට තඩි බෑවේ ඒ අතරය.
“රිදී... අනෙක් අය එන්න කලින් ඉක්මණයට නාගන්න. නැත්නම් හොට් වෝටර් ටික ඉවරවෙයි.”
තරුණියන් නාගෙන පහළට එද්දී වැස්ස තුරල් කොට තිබුණේය. රිදීමා තම දිගු වරලස සෝදා, එය මුදාහැර උන්නාය. ඇගේ මුදුව ඇද හැලූනු කෙස් කළඹත්, හදවතක හැඩය ගත් මුහුණත්, කුඩා නැහැයත්, රෝස කැකුළක් බඳු මුව පොඩියත් අතිශයින් සුන්දර වුයේය. ඇය වෙතින් දිස් වුයේ ළදරුවකුගේ බඳු අවිහිංසක බවකි.
ඇය දුටු ඕනෑම අයකු ඇය වෙත ඇදුණේ ආදරයෙනි. ඊර්ෂ්‍යාවකින් හෝ ද්වේෂයකින් නොවේ. රිදීමාට වඩා සම්පුර්ණයෙන් වෙනස් වු මහීකා උසට ගැලපෙන මහතකින් යුත් තරුණියක් වුවාය. ඇයටවුයේ විසල් දෑසක්, දිගු නැහැයක් හා පළල් මුවකුත්ය. උරහිස දක්වා වු ඇගේ කෙස් කළඹ ඝනව වැඞී තිබුණේය.
රුචිරාද, අමාද තෙමීගෙනම ගෙට ගොඩවූවෝය.
“ජරා වැස්ස... ” ඉතා සිහින් සිරුරක්, කෙටිම කෙටි කෙස් කළඹක් , හා දිගටි මුහුණක් සහිත තරුණියක වු අමා පැවසුවාය. ”ඇඳුම් මාරු කරගෙනම ඇවිත් තේ බොමු... ”
වටකුරු මුහුණක් හා එබඳුම දේහයිකින් හෙබි රුචිරා ද වහා උඩුමහලට දිව ගියාය.
”අපි තේත් හදලා, රෑට මොනවා හරි උයන්නත් ලෑස්ති කරමු ... ” මහීකා පැවසුවාය. නිවසේ කෑම වට්ටෝරු සැදුණේ ඇය අතිනි. වට්ටෝරු මාරු කරමින් බර අඩුකර ගැනීමට තැනුවේ රුචිරාය. එහෙත්කුමන වට්ටෝරුවක් අනුව කෑම, බීම පාවිච්චි කළත්, ඇගේ බර අඩුවන බවක්ද නොපෙනුණේය.
”අපි කුකුළ් මස් කරියක් හදලා, අල ටිකක් සැරට තෙල් දාමු... ” රිදීමා හිස වනා මහීකාගේ අදහස අනුමත කළාය. ඔවුන් පාවිච්චි කළේ ශී‍්‍ර ලංකාවෙන් ගෙනා කුළුබඩු නිසා නිවසේදී මෙන්ම රසවත් කෑම වේලක් මෙහිදී ද ලැබුණේය. ආහාරවලට යන මුදල ඔවුහු බෙදා ගත්තෝය.
රිදීමා හීනියට ලොකු ලූනු කපා, අල තම්බන තුරු මහීකා තේ සෑදුවාය. කුකුළා කැපුවේ අමාය. ඉතා සිහින් ඇයට එබඳු ශක්තියක් ඇත්තේ කෙසේදැයි සිතනා තරම් වැරෙන් ඈ කුකුළාට පහර දුන්නාය.
“අනේ පව් මැරිලා හිටියේ නැත්නම් අසරණයා ඔය පාරවලට අනිවාර්යයෙන්ම මැරෙනවා... රුචිරා පැවසුවාය.
“බලාගෙන ... ” මහීකා අවවාද කළාය. පිහිය තියෙන්නේ අමා අතේ .. ” ඇය පැවසුවේ අමාද සිනස්සමිනි.
කෑම ඉදෙනා තුරු ඔවුහු මේසය වටා හිඳගෙන තේ පානය කළහ. අමා නගරයේ සුප‍්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යවක වු අතර, රුචිරාගේ අධ්‍යාපන පිඨය වුයේ නිවසට නොදුරුවමය. උදෑසන ඒ දෙදෙනා එකට නික්මුණහ. රුචිරා මුලින්ම බස්සවන අමා, තම කාරය දුම්රියපොළෙහි දමා, දුමිරියෙන් නගරයට ගියාය. සවසටද මේ දෙදෙනා බොහෝ විට නිවසට එකට ආවෝය.
යෙහෙළියෝ මාතෘකාවෙන් මාතෘකාවට පහසුවෙන් මාරු වුහ. නුතන විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ මෝස්තර (මීට ඇඳුම්, පැළඳුම් සහ කොණ්ඩා යන සියල්ල අයත් විය.) විවිධ දේශකයින්, ඔවුන්ගේ දේශණ, සිංහල සිසු, සිසුවියන්ගේ හැසිරීම, ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක‍්‍රමය වැනි ඕනෑම තරම් මාතෘකා ඔවුන්ට කථා කිරිමට තිබුණේය.
මහීකාට හවස වු සිද්ධිය මතක් වුයේ මේ අතරතුරය.
“අද රීදීමාට මරු වැඩක් උණානේ. .. ” කියමිනි, ඇය කථාව ආරම්භ කලේ
“ඒ මොකද්ද ? ” ඕපාදුව ඇසීමට කොහොමත් කැමැත්තක් දක්වන රුචිරා ඇසුවේ කුහුලෙනි.
“එයා හැන්ඩිසම් බෝයි කෙනෙක්ව දැක්කා.... මහීකා ලතාවකට කීවාය.
“රිදීමා එයාව හොඳට දන්නවලූ.. හැබැයි මුණ ගැහුණේ කෙහේදිද කියලා මතක නැතිලූ ... ”
හැමෝම හඬනඟා සිනාසුනෝය. “ ඕකට කියන්නේ දවල් හීන දකිනවා කියලා ... ” සිනහව නතර වු පසු අමා පැවසුවාය. “එහෙම සිද්ධියක් මගේ ජීවිතේටවත් අහලා නෑ ...”
රිදිමාට දැනුණේ මහත් අපහසුවකි. “මමත් එහෙම දෙයක් කවදාවක් අහලා නැහැ.... ඒත් මම එයාව හොඳටම දන්නවා. මට ඒක හොඳටම විශ්වාසයි. ... ඉන් එහා මට මුකුත් හිතාගන්න බැහැ.”
“ඔන්න ... ඔන්න... රුචිරා ඇයට බාධා කළාය. ”මේ පුනරුප්පත්ති කථා නම් බැහැ හොඳේ. මම ඔය මනස්ගාත විශ්වාස කරන්නෙ නැහැ.”
“ඉංජිනේරුවෝ මොනවද විශ්වාස කරන්නේ? ” ඒ අමාය. ඒ ගෝල්ලෝ දන්නේ ඉලක්කම් විතරනේ... ඔවුන්ගේ සිනහව යළි අළුත් වුයේය.
“පොඩ්ඩක් විපරම් කලා බලන්න. කරාබු දාපු, කොන්ඩේ වවපු අය ඔයාලගේ යුනිවර්සිටයි එකේ මහගොඩක් ඇති කියලා මට නම් හිතෙන්නේ නැහැ... ” අමා යළිත් කීවාය.
“දාන්නකෝ පත්තරේට ආටිකල් එකක්. ඔය දෙන්නම පුරුදු වෙන්නේ ජර්නලිස්ට්ලා වෙන්න නේද? රුචිරා ඇසුවාය.
“අපෝයි ඔව් ඔයාලා වගේ අයගේ හොර අල්ලන්න තමයි අපි පුරුදු වෙන්නේ” මහීකා වහා පිලිතුරු දුන්නාය.
විහිළු තහළු මැද කෑම ගත්තද, රිදීමාගේ සිත තුළ වූයේ එළියට ඒමට තැත් දරන කුමක්දෝ හැගීමකි. ඒ හැඟීමට ඉස්මතු වීමට ඈ ඉඩ නුදුන්නාය. කලින්ම ඇදට වැටුණද, ඇයට නින්ද නොආවේය. ඇගේ ඔස්ටේ‍්‍රලියානු ගමනට දෙමව්පියෝ තදින්ම විරුද්ධ වූහ. ටික කලකට හෝ ඇය මෙහි එවිය යුතු යැයි තීරණය කළේ වෛද්‍ය සිසුවකුව නදීන් අය්යාය. අමා ඔහුගේ හිතවතියකි. එකමපාසැලේ උගත් රුචිරා සහ මහීකාද එකම නවාතැනක සිටීම තවත් සහනයක් වුයේය.
දෙමව්පියන් හා සොහොයුරාත් හැර ගෙදර වාසය කළ අන් අය වුයේ මුළුතැන්ගෙහි වැඩපළ කළ සුබරත්න මැණිකේත්, අතුපතුගෑම් වැනි පුංචි, පුංචි වැඩකළ පිංචි කෙල්ලත්, වත්ත පිටිය උදලූ ගෑ හීන්බන්ඩේත්ය. ඔවුහු සියල්ල ‘සුදු බේබ්’ යන හුරතල් නාමයෙන් රිදීමා ඇමතුහ. තමාට කිසිවකු ‘සුදු මැණිකේ.. ” යනුවෙන් අමතන මතකයක් රිදීමාට නොවීය.
පාසැලේදී ඈ ඉතා දීප්තිමත් ශිෂ්‍යාවක් වුවාය. දක්ෂ කී‍්‍රඩිකාවක, චතුර කථිකාවක වුවාය.එහෙත් තමා සිතූ තරම් ඉහළින් විශ්ව විද්‍යාලයට යෑමට සුදුසු ලකුණු මට්ටමක් ඇයට ලබාගත් නොහැකි වුයේය. එහෙත් ලිවීමට ඇය තුළ වු ආශාව දන්නා සොහොයුරාගේ බලපෑමෙනි, ඇය මෙහි පැමිණියේ. නදීන් අයියා මෙනෙහි වීමෙන් රිදීමාට පාළුවක් ද දුකක්ද දැනුණේය. ඔහු ළඟ හිඳිද්දී ඇයට දැනුණේ, ඇගේ ලොව සුරක්ෂිත බවකි. ජීවිතය ගෙන යෑමේ බලවත් ශක්තියකි. තම දෙව්පියන් ජීවත්ව සිටිද්දී තමාගේ ආරක්ෂාවට සොහොයුරා අවශ්‍ය මන්දැයි ඈ ඊළඟට කල්පනා කළාය. ඇයට දැනුණේ තමා කුමක් හෝ තාමත් සොයන බවකි. තමා ඒ සොයනා දෙය තම ජීවිතයට බාධාවක් බවය. එහෙත් ඒ කුමක්දැයි ඈ නොදත්තාය. තමාවත් කවුරුන් හෝ එසේ සොයන්නේද? ඇයට යළිඳු සිහිවුයේ අර තරුණයාය. ඔහු දැකීමෙන් ඇය තුළ පහළව ඇත්තේ දැඩි කැළඹීමක් නොවේද? සිත සන්සුන් කිරීමට තැත් කළත්, ඇයට මෙනෙහිවුයේ ඔහුගේ සරදම් සිනාවය. ප‍්‍රශ්ණාර්ථයෙන් යුත් තියුණු බැල්මය. ඉන් ඔහු තමාට දීමට තැත් කළ පණිවුඩය කුමක්ද? මහීකා පවන්නාක් මෙන් ඇය තුළ බිහිව ඇත්තේ ඔහුගේ කඩවසම් බව දැකීමෙන් හටගත් හැඟීමක් නම් නොවේ. එසේ නම් ඒ හැඟීම කුමක්ද?
නින්ද ඇය ළඟට තුරුල්වු වේලාව රිදීමා නොදත්තාය. හවස දුටු සැර ජල පහර වෙනුවට නිසලව ගලන දියදහරක් ඇය එවර දුටුවාය. ගඟදිය අසල තුරු සෙවනක හිඳ කි‍්‍රෂ්ණා, සිය බටනලාව වැයීය. තමාගේ ශක්තිමත් බාහු යුග්මයෙන් රිදීමා සිය ග‍්‍රහණයට අසුකර ගත් තරුණයා, ගඟ පහළට, ඇයද රැගෙන පිහිනීය. ඔහුගේ තෙත් වු දිගු කෙස් කළඹ හිසට ඇලී තිබු අතර, කනෙහි වු කරාබු දියබිදු වැටී වඩාත් දිළිසුනේය. වතුර ගලායන ස්වරය හා බටනලා වාදනයද එක්ව නැගුනු මිහිරි සංගීතයට සවන් දෙමින්, රිදීමා දිගටම නිදා ගත්තාය.
෴෴෴
දෙවන පරිච්ඡේදෙයන් හමුවෙමු: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_3.html
පෙරවදන කියවන්න:
http://magenavakatha.blogspot.com/2013/04/blog-post.html
කතුවරිය ගැන සහ මේ බ්ලොග් අඩවිය ගැන වචනයක්:
http://magenavakatha.blogspot.com/p/blog-page.html
Subscribe to:
Post Comments (Atom)
අදයි නෙත ගැටුනේ මේ ඉසව්ව. සිංහල බ්ලොග් ලියන්නන් අතරට සාදරයෙන් පිළිගන්නවා. හමුවෙමු ඉදිරියට. මගේ සුබ පැතුම්.
ReplyDeleteඅඳුන් සිහිනෙට සාදරෙන් පිලිගන්නවා නලින්ව. මුලින්ම කතුවරයෙක්, කතුවරීගේ නිවසට ගොඩවැදුනු එක කොච්චර ලොකු දෙයක්ද? :)
Deleteකතාව හොඳයි.. ලියාගෙන යමුකෝ ඔහොම. සුබ පැතුම්..!
ReplyDeleteචන්දනට ස්තූතියි සුබ පැතුමට. කතාව කියවන්න දිගටම එන්න.
Delete/* කුකුළා කැපුවේ අමාය. ඉතා සිහින් ඇයට එබඳු ශක්තියක් ඇත්තේ කෙසේදැයි සිතනා තරම් වැරෙන් ඈ කුකුළාට පහර දුන්නේය. */
ReplyDelete1. ක්‍රියා පදය දුන්නාය විය යුතුයි.
2. කුකුල් මස් කපන්න පිහියෙන් පහර දෙන්නේ කවුද? සියුම්ව පිහිට පාවිච්චි කරලා ඒක කරන්න පුළුවනි.
http://www.youtube.com/watch?v=eiwHpDtZHOE
Delete:D ගොඩක් ස්තූතියි කතන්දරකාරයට. ඉක්මනින්ම එය නිවැරදි කරන්නම්.
Delete//කුකුල් මස් කපන්න පිහියෙන් පහර දෙන්නේ කවුද? සියුම්ව පිහිට පාවිච්චි කරලා ඒක කරන්න පුළුවනි.//
මින් තේරෙන්නේ ගෑනු ලමයින්ට කුකුළ් මස් කපන එක අමාරු වැඩක් බව.
'සියුම්ව පිහිට' කියන එක නම් තේරුනේ නෑ.:)
:D youtube එකේ පෙන්නන්නේ කුකුළෙක් ගලවන හැටිනේ.
Delete'සියුම්ව පිහිට'
Deleteමං හිතන්නෙ මිස්ටේක් එකක්. 'සියුම්ව පිහිය' වියයුතුයි.
සිංහල බ්ලොග් අවකාශයට අළුත් නවකතාවක් එක් වීම ගැන සතුටු වෙමි. අන්තර්ගතය ගැන අදහසක් පළ කරන්ට තවම කල් වැඩිය. සුභ ගමන්!
ReplyDeleteලේඛකයාගේ සුබ පැතුමට ස්තූතියි. ඉදිරියේදීත් ඔබේ අදහස් මෙලෙසම දැක්වෙයි කියලා විශ්වාස කරනවා.
Deleteමමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක් , කතන්දරගෙ බ්ලොග් එකෙන් තමා මේ කතුවරී ගැන දැන ගත්තෙ. හරිම ලස්සන කතාවක් කියල තේරෙනවා. " සුබ පැතුම්"
ReplyDeleteඔයාටත් ගොඩක් ස්තූතියි. දැන් ඉතින් හැමදාම මේ පැත්තට එන්න.:)
Deleteමම ආවෙත් අදයි. කකාගෙ ලින්ක් එක දිගේ. නවකතාවක් ලියනව නම් දවස් දෙකතුනකට සැරයක් කොටසක් දාන්න ඕන. අර සමනල විප්ලවය ලිව්ව ලේඛකය වගේ. නැත්තං එපා වෙනව.
ReplyDeleteආදරයෙන් පිලිගන්නවා රාජ්ව. ඉක්මනට දාන්නම්. නැත්නම් කතාව අමතකත් වෙනවානේ.
Deleteඅපිත් බලාගෙන ඉන්නම්
ReplyDelete:) හොඳමයි.
Deleteඅමුතුම කතාවක් වගේ :) කිව්වත් වගේ නිකම් පුනරුප්පති පාටකුත් තියෙනවානේ
ReplyDeleteමේ වගේ කතා වලට මම හරි ආසයි. ඒ කිව්වේ පුනරුප්පත්ති ඒවාට.
ReplyDeleteකතන්දර තමයි ඔබේ බ්ලොගයට පාර දක්වල තිබුනේ,
ReplyDeleteබ්ලොග් ලිවීමට අවතීර්න වීම ගැන මගේ සතුට!
ඒ වගේම
බ්ලොග් ලිවීමඇබ්බැහි වන දෙයක්,
පරෙස්සම් විය යුතුයි හික්ස්..
විදේශීය අත්දැකීම් අපේ සාහිත්‍ය පෝශණය උදෙසා යොදා ගත යුතුමයි.
ඒවා විඳපු කෙනෙකු අතින් කෙලින්ම එන විට වඩාත් වටිනවා.