Wednesday, April 10, 2013

රිදීමා මෝහනයවී


අඳුන් සිහින - පස්වන කොටස
පළමුවෙනි කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_1.html
දෙවන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_3.html
තුන්වන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_5.html
සිව්වන කොටස: http://magenavakatha.blogspot.com/2013/04/blog-post_8.html


“මම දැන් එකේ ඉඳලා දහයට ගණිනවා. එතන ඉඳන් මම කියනදේට ඇහුම්කන් දීලා මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න.....” රිදීමාට, අමාගේ හඩ ඇසුනේ ඉතාම දුරකින් මෙනි.

ඇයට දැනුණේ , තමා අහසේ පාවෙන වලා කැටියක් මෙන් සැහැල්ලූවටය. ඇය සිටියේ ඇගේ මහගෙදර මැද සාලයේය. සුපුරුදු ලෙස එහි බිම රතු පැහැයෙන් දිලෙනු ඈ දුටුවාය. බිම පොලිෂ් කළේ, පිංචි කෙල්ලය. සාලයේ දිග සෙටියෙහි හිඳ සිටියේ අම්මාත්, අප්පච්චීත්ය. පසෙක වූ ඇඳි පුටුවක ‘නදින් ’ අය්යා උන්නේය. ඔවුහු කුමක්දෝ ගැන වාද කළෝය. අප්පච්චී සිටියේ කෝපයෙනි. අම්මා ශෝකයෙනි. අය්යා කල්පනාවෙනි. ඔවුන්ගේ හඩ ඇයට නෑසුණේය. දර්ශණය මාරු වූයේ යම් විධානයක් අනුවය. සුබරත්න මැණිකේ මුඵතැන් ගෙහි වූ රවුම් මේසය මත නැඹුරුව උන්නාය. එහි වූ ලෑල්ලක ඈ අඵවා තුනී කළාය. එහි තුන්හුලස් හැඩයත්, මේසය මත වූ පිටි කැටත් රිදීමා මනාව දුටුවාය. දඟකාර සිනාවක් ඇසිණි. කාගේදෝ අතක් ඉදිරියට ඇදී අඵවා කැබැල්ලක් ඩැහැ ගත්තේය.

“හදලා ඉවරවෙනකල් ඉන්නකෝ සුදු මැණිකේ!” සුබරත්න මැණිකේ නෝක්කඩු කීවාය.

කිකිණි හඩ පැතිරිණි. හීන් රන් වළලූ දෙකකින් සැරසුණු ඒ අතම යළිත් අඵවා කැබැල්ලක් සොරාගති. යම් හඩක් ඇසුණෙන්, සුබරත්න මැණිකේ වහා හැරී බැලූවාය. ඇගේ දෑස වෙනස් විය. හැට්ට අතින් නළලෙහි වූ දහඩිය බිඳු පිස දැමූ ඇය මඳ සිනාවක් පෑවාය.

“මේ සුදුමැණිකේගෙන් බේරෙන්න බැහැ......” දොර අසල වූ යමෙකුට ඈ බයාදු ලෙස පැවසුවාය. දර්ශණය මැකී ගියේය.

“මේ ළමයට තියෙන විසයක හැටි.......” ඒ අම්මාය. කාගෙදෝ බොකුටු හිසක්, ඈ පීරුවාය. එය කපුටු කූඩයක් සේ අවුල්ව තිබුණේය. ”මේක මේ හැටි ගැටගහගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නැහැ.....” ඈ පනාව තදින් හිසේ ගැසුවාය.

“ඌයි” ඒ හඩ දඟකාරය.” අම්මා මට රිදෙනවා......”

“ඉස්කෝලේ ගිය වෙලාවේ ඉඳලා දාංගලේ. වෙන වැඩක් නෑ. පොත පතක් අල්ලනවද කියලා කවුරුත්ම දන්නේ නෑ. නැගිට්ට හැටියේ දුවන්නේ අකුලට......” අම්මා දිගටම කියාගෙන ගියාය. ඇය පීරූ වරලස දිගු විය. ඈ එහි ගැට හැර, හොඳින් පීරා, සිහින්වට කරල් දෙකක් ගෙතුවාය. ඉන්පසු සුදු රිබන් පටියකින් එය ගැට ගැසුවාය.

“එහෙ, මෙහේ දුවන්නේ නැතිව, හොඳ ළමයා වගේ සපත්තු දාගෙන, මම එනකල් නොහෙල්ලී ඔහොමම ඉන්න...... මට ලෑස්ති වෙන්න පරක්කු උණා........”

සුදු මේස් සහ සපත්තු දැමූ දෙකකුල් පුටුවට පහළින් පැද්දුණේය. සුදු ගවොමේ රැළිද, සුදු බඳපටියද, ඊට උඩින් වූ නිල් ඉරි සහිත ටයිපටියද, රිදීමා දුටුවාය. අතෙහි වූයේ අර හීන් රන් වළලූ දෙකය. දර්ශණය බොඳවී ගියේය.

බෙර හඩක් ඇසුණේය. ඒ සමගම ඇසුණේ සුපුරුදු සිනා හඩ හා ගෙජ්ජි හඩය. වේදිකාව වූයේ අඳුරේය. තිරය මෑත්විය. විදුලි පහන් දැල්විණි. සියල්ල ආලෝකමත් වූයේය. පසෙක හිඳ සිටි අයෙකු බට නලාව වැයී ය. පසුබිමින් ඇසුණු මිහිරි සංගීතය උච්ච විය. කඵ පැහැ ඇඳුමකින් යටිකය වසාගත් තරුණයා වේදිකාව මධ්යුයට පැමිණියේ, වැයෙන තනුවට අනුව නැටීමට පටන් ගත්තේය. ඔහුගේ දෑත්, දෙපා, විදුලිය සේ ලෙලදෙනු රිදීමා දටුවාය. ඔහුගේ මුහුණ දහදියෙන් තෙත්ව දිළිසුණේය. ඉරියව් ඉතා නිවැරදිවුත්, මනහරවූත් ඒවා වූයේය. මුව සිනහවකින් විකසිත විය. නැටුමට අනුව, පිටුපසට පීරා ගැට ගසන ලද ඔහුගේ කෙස් කළඹද සෙලවුණේය. කණෙහි වූ කරාබුවද දිලිසිණි. තරුණයා නැටුම අහවර කළේ, පිමි කිහිපයක් උඩ පැනලාය. තත්පරයක් ගතවන තුරු නිශ්ශබ්දතාවක් පැතිර ගියේය. කාගෙදෝ කිකිණි සිනා හඩක් සමග අත්පොලසන් නදක් ඇසිණි. ශාලාව එම හඩින් ගිගුම් දුනි. ඒ මධ්‍යයේ සිනහ හඩද ඉතා පැහැදිලිව රිදීමාට ඇසුණේය.

“ඊ ළඟට සුදුමැණිකේගේ වාරේ.......” කවුදෝ ගෙජ්ජි හඩ නංවමින් වේදිකාව පසුපසට දිව ගියාය. දර්ශණය යළිදු මාරුවිය. සැඩපහර ගලා ගියේය. ගඟ දිය ඉතා බොර පැහැයෙන් පෙණිනි. ඊට අසු වූ රොඩු බොඩු සියල්ල ගසා ගියේ ඉතා වේගයෙනි. ගඟ කෝපයෙන් හඩනා හඩ රිදීමාගේ ගත සලිත කළේය.

“ජීවිතයයි, මරණයයි අතර කිසිම ඉඩක්, පරතරයක් නැහැ. ජීවිතය කියන්නේ සුන්දර දෙයක්. මරණය කියන්නේ එපමණම සුන්දර දෙයක්. ජීවිතය උණුසුමින් වැළඳ ගන්නවා වගේම මිනිසුන්ට මරණයත් උණුසුමින් වැළඳ ගන්න පුඵවනි.......” ඒ ඇසුණේ රිදීමා දන්නා හඩකි.

“මේ වගේ වෙලාවක ඔය වගේ කතා කියන්න හොඳ නැහැ සුදු මැණිකේ !” තරුණ හඩක් පිළිතුරු දුනි.

“ඇයි මම ගහගෙන යයි කියලා බයද ?”

“සුදු මැණිකේ !”

“බයද කියන්න......”

පය පැටලී, ගලක් ලිස්සා වතුරට වැටුණි. තමා ගඟ පහළට ගසාගෙන යනු රිදීමාට දැණුනේය. ඇගේ හදවතට දැණුනේ බියකි. ඈ වැරෙන් යමක් අල්වා ගත්තාය. වතුරේ වේගයට තමා එහා මෙහා යනු , ඇය භීතියෙන් බලා උන්නාය. කෑ ගැසීමට තැත් කළ මුත්, වතුරෙන් පිරී ගිය මුව විවර කිරීමට ඇයට හැකි වූයේ නැත. වතුරට මේ තරම් වේගයෙන් ගලා ගිය හැකිද ? ඇගේ හදවත කවුදෝ විසින් තෙරපන්නාක් බඳු වේදනාවකින් පිරී ගියේය. කණෙහි නැගුණේ මහා ඝෝෂාවකි. ජල පහර සමඟ පොර බැදීමට තමාට වාරු නැතිවනු දැනුණෙන්, ඈ අවසාන වරටත් කෑගැසීමට උත්සාහ කළාය.

“සුදු මැණිකේ...... සුදු මැණිකේ....” කවුදෝ තමා අමතනු ඇයට ඇසුණේය. ඒ සමගම ඈතින් ඇසුණේ වෙනත් හඩකි.

“රිදීමා...... රිදීමා......”

ඇය ඒ හඩ වෙත කන් යොමු කළාය.

“මම ආපහු දහයේ ඉඳන් එකට ගණිනවා. ඔයාගේ ඇස් හෙමින් අරින්න......” ඒ හඩ ඇයට විධානය කළේය. ජල කඳ බැස ගියේය. තමා පාවෙන්නාක් බඳුවද, ක්‍රමයෙන් මුලින් සිටි ඇඳ මතටම පත්වන්නාක් බඳුවද රිදීමාට දැනුණි.

“රිදීමා......” අමා ඇගේ අතට තට්ටු කළාය. රිදීමා ඇස් ඇරියේ සෙමිනි. ඇයට දැනුනේ ග්‍රහණයට අසුකරගත නොහැකි දෙයක් අපහසුවෙන් ගන්නාක් මෙනි. ඈ සෙමින් වටපිට බැලූවාය. ඇගේ යෙහෙළියෝ ගල් ගැසී ඇය දෙස බලා උන්නාහ.


“මම මොනවද කීවේ ?” ඇස් විවර කළ ඇසිල්ලේම රිදීමා සිය යෙහෙළියන්ගෙන් ප්‍රශ්න කළාය. යෙහෙළියන් තවමත් උන්නේ ගල් ගැසිලාය.

“අමා....” ඈ අමා වෙත හැරුණාය. අමාගේ මුහුණෙහි පළවූ හැඟීම් කිසිවක් ඇයට නොතේරුණේය.

“හ්ම්....” අමා මඳක් කල්පනා කළාය.

“රිදීමා.... ඔයා කියපු දේවල් මොනව කියලා දැනගන්න මේ වෙලාවේ ගොඩක් මහන්සි වෙන්නෙපා. ඔයාගේ මොළේට පොඩි විවේකයක් දෙන්න....”

“මට එහෙම අමාරුවක් නෑ අමා. මට ඕනෑ මම ඔයාලට මොනවද කීවේ කියලා දැනගන්නයි...”

“හොඳයි ඔයාට දැනගන්න ඕනම නම් මම කියන්නම්...” පසෙක උන් මහීකාට සුසුමක් හෙඵනේය.

“මම ඔයාට කීව විදියට ඔයා, ඔයාගේ අතීතෙට ගියා. හැබැයි මට මෙහෙම දෙයක් තේරුණා රිදීමා... ඔයා අපට විස්තර කළේ, ඒ හැමදෙයක්ම පිට ඉඳන් බලන කෙනෙක් විදියට. ඔයා ඒ එක අවස්ථාවකවත් එතන හිටපු බවක් පෙනුණේ නැහැ...”

“ඒ කීවේ ?” රිදීමා ප්‍රශ්න කළාය.

“හිතන්න ඔයා, ඔයාගේ ගෙදර සාලේ වෙන දේවල් අපට විස්තර කළා. කුස්සියේ වෙන දේවල් විස්තර කළා. ඒත් හරියට හීනයක් දකින කෙනෙක් විදියට. හැඟීම් මුකුත් තිබුණේ නැහැ. එහෙම තිබුණේ ඔයා වතුරේ ගහගෙන යන වෙලාවේ විතරයි. එතනදි නම් වතුරට ගහගෙන ගියේ ඔයාමයි... ඔයා කොච්චර බයවෙලා කෑගැහැව්වද කීවොත් මෙයාලා තාමත් බයවෙලා...” අමා අනෙක් යෙහෙළියන් දෙස හැරුණාය.

“බලන්න තාමත් ගල් පිළිම ටික වගේ ඉන්න ලස්සන....”

රිදීමා යාන්තමට හිනැහුණාය. ඇගේ ඔඵව පැටඵණු නූල් බෝලයක් මෙනි. සිහින රුසකට මැදිවී, ඉන් ගොඩ ආ ගත නොහැකි ලෙසකි, ඇයට දැනුණේ. ”මම කීවනේ දැන් ඔඵවට වද දෙන්න එපා කියලා...” අමා යළිත් පැවසුවාය.

සියල්ලෝම කෑම මේසය වටා රැස් උණෝය. රාත්‍රී ආහාර ගැනීමට තරම් රුචියක් කිසිවෙකු තුල දක්නට නොලැබිණි.

රිදීමා, තමා ළඟ උන් මහීකා දෙස හැරුණාය. ”මම කීවා ඔයාට, මගේ මූණේ ඉරියව් හොඳින් බලන්න කියලා... බැලූවද ?” මහීකා අකමැත්තෙන් තම උරහිස් හැකිඵවාය. ”බැලූවා...”

”මට කියන්න ඔයා දැක්කේ මොනවද කියලා?”

මහීකා කල්පනා කළාය. තොල්පට විකුවාය. අනතුරුව අනෙකුත් යෙහෙළියන් වෙත හැරුණාය.

”අමා ඔයාට ගෙදර ඉන්න කාලෙට යන්න කීවම, පාසල් කාලෙට නිවාඩු කාලවලට යන්න කීවම ඇත්තට ඔයාගේ මූණේ කිසිම හැඟීමක් තිබුණෙ නෑ. දකින දෙයක් විස්තර කරනවා වගේ පෙනුණේ. ඔයාගේ මූණේ දුක, වේදනාව, සතුට වගේමොනම හැඟීමක් තිබුණේ නැහැ.... හැබැයි අමා කීවා වගේ, ඔයා වතුරට ගහගෙන යනවා නම් අපිත් දැක්කා....”

”ඒක නම් අපිට හොඳටම දැනුණා... හරියට අපිත් එතන හිටියා වගේ” රුචිරා පැවසුවාය. ”මම හිතුවේ ඔයා මේ දැන් ගිලෙයි කියලා....”

”එකේ තේරුම මොකක්ද ?” රිදීමා නැවත අමා දෙසට හැරුණාය.

”මට තාම හිතාගන්න බැහැ රිදීමා.... මට හිතුණේ ඔයා ඒ අවස්ථාවල එතන නොහිටියාද කියලත්.... ඔන්න එක වෙලාවක ඔයා අප්පච්චිට තරහා ගිහින් කීවා. අම්මා දුකෙන් හිටියා කීවා. ඒත් ඔයාට කිසිම ගානක් තිබුණේ නෑ. හරියට ෆිල්ම් එකක් බලනවා වගේ.....”

ඈ තම හිස දෙපසට වැනුවාය.

”මට තව ටිකක් හිතන්න ඕනි.... හැබැයි ඔයා.....” අමා, රිදීමා දෙසට ඇඟිල්ලක් උරුක් කළාය. “කල්පනාවට යන්නේ නැහැ... අදට සද්ද නැතිව නිදාගන්න ඕනි....”

-කතුවරී

අඳුන් සිහින නවකතාවේ හයවෙනි කොටසත් සමග නැවත හමුවෙමු.

23 comments:

  1. රිදිමගේ චරිතය අමුතු එකක් වගෙ.දිගටම කියවගෙන යමු නේද.
    ඔබගේ නවකතා කියවල කකාටත් පරණ සිද්දියක් මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. මාත් කතන්දරකාරයාගේ පෝස්ට් එක දැක්කා.:)
      රිදීමා අමුතුම චරිතයක් තමයි.

      Delete
  2. මෝහනය කළත් වැඩක් වෙලා නැද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. පස්සේ තමා බලන්න පුලුවන් වෙන්නේ.:D

      Delete
  3. ඔන්න මාත් ආවා... හි හි

    ReplyDelete
    Replies
    1. ඔන්න සාදරෙන් පිළිගත්තා.

      Delete
  4. ඔන්න කකා මෝහනය ගැන හොද ලිපියක් දාල තියනවා ඒකත් බලන්ව

    ReplyDelete
    Replies
    1. බැලුවා නලීන්. කමෙන්ට් එකකුත් දැම්මා.

      Delete
  5. යකෝ කතා කීයක් ලියනවද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එක කතාවයි තාමත්. ඔය වෙනස් නම් දාන්නේ එක, එක අදියරවලට. (chapters)
      අපි ඉතින් යක්ෂ ගෝත්‍රයේ තමාලු.:D

      Delete
  6. kooo ithiriya...

    ReplyDelete
    Replies
    1. හෙට දානවා. සඳුදා, බදාදා, සිකුරාදා. එහෙමයි දාන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  7. ඔන්න මම කොටස් පහම එක හුස්මට කියෙව්වා... :) හරිම ලස්සනට ලියල තියෙනව.. මම මේ පත්තෙ ආවෙත් අදමයි... ආයෙත් එනවා අනිවාර්යෙන්ම...
    ජය..!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එන්න. ඔහොම කියනකොට එක හුස්මට ලියාගෙන, ලියාගෙන, යන්න හිතෙනවා.

      Delete
  8. Haffe athi yantham mohanaya kotasa daala thiyanawa. Aththama kiyannam onna ada thamayi kathaawa hithata wadune. Balamu meka kohoma iwara weyida kiyala...!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙනම් රිදීමාව මෝහනය කලේ.

      Delete
  9. මට හිතෙන්නෙ මේකයි.. රිදීමා/සුදු මැණිකේ වතුරට වැටිල මැරෙනවා... අර ගෙදර ඒව පිට ඉඳන් දකිනව වගේ පේන්නෙ එයා මැරුණට පස්සෙ හොල්මන ගෙදර ඉන්න ඇති.... අනේ මංද රෑට මේව හිතන්න හොඳත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව්. බලාගෙන. මම නම් රෑට ඔය බය හිතෙන කොටස් ලියන්නෙත් නෑ.:)

      Delete
  10. දියේ ගිලුණු සීන් එකක් වගේ. යන්කො බලන්න ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. යමු. යමු. කවුරු දියේ ගිලුණද කියන එක තමා ප්‍රශ්නේ.

      Delete
  11. හොල්මන් කතාවක් එහෙම නෙවෙයි නේද? අනේ කතාවෙ අනිත් කොටසුත් ඉක්මනට දාන්න.රිදීමා කොහොම වෙතත් මාවත් වතුරට ගහගෙන ගියාවගේ දැනුනේ.

    ReplyDelete
    Replies
    1. නෑ සරණි මේ කතාවේ හොල්මන් නෑ. :)

      Delete
  12. මට නම් හිතාගන්න බැහැ කතාව මොන වගේද කියලා.... මගේ පොඩි චෝදනාවකුත් තියනවා.... තරහ වෙන්න එපා... රිදීමා මෝහනයෙන් මේ දේවල් දැනගන්න අවශ්‍යතාව එන විදියට තව සිද්ධි ටිකක් ප්‍රභල උනානම් හොඳයි කියලා මට හිතෙනවා.....

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.