Monday, April 15, 2013

රිදීමාට දිනූෂ මුණ ගැසෙයි







අඳුන් සිහින හත්වෙනි කොටස

රිදීමා, විශාල සාප්පු සංකීර්ණයේ වූ කුඩා ඉන්දියානු කඩයට ගොඩවූයේ, සුවඳ දුම්කූරු හා ඉටිපන්දම් ගැනීම සඳහාය. කිසිදු බඩුවක් නොගත්තත්, එහි වූ විවිධ ඉන්දියානු නිමැවුම් දෙස බැලීමට ඈ ආශා කළාය. එහි අයිතිකාරිය වූ තරබාරු ඕස්ටේ‍්‍රලියානු ගැහැණිය, දිගු වර්ණවත් සායක් හා ඊට කැපෙන බ්ලවුසයකින් සැරසුණු තරුණිය දෙස බැලූවේ, ඇය පැමිණියේ මොන රටෙන්දැයි සිතීමට තැත් කරමිනි. ඉන්දියාව, පකිස්තානය, ඉරානයසමහර විට නැගෙනහිර යුරෝපීය රටකින් වුවද, වෙන්නට බැරි නැත. ඇය තම හිස මඳක් සෙලවූයේ, උදෑසනම ප‍්‍රහේළිකා විසඳීමට තරම් උද්යෝගිමත් මනසක් තමා සතු නොවූ නිසාය. උරහිසෙහි වූ දිගු පටියකින් එල්වුණු කුඩා බෑගයක්, අතෙහි දවටා සිටි තද පැහැති ජම්පරයත්, පිට දිගට වැටෙනා කරලට ගෙතූ කෙස් කළඹත් නිසා රිදීමා කුඩා සාප්පුව තුල වූ විදේශීය භාණ්ඩ හා මනාව ගැලපුණාය. එමෙන්ම බිත්තියෙහි එල්වා තිබූ ඉන්දීය නාට්‍යාංගනාවකගේ මනහර දසුනක් ද මවා පෑවාය. එම චිත‍්‍රයට සමාන තරුණිය තමා ළඟට එනතුරු අයිතිකාරිය ඒ නොදැක්කාය.

රිදීමා, තම බඩුවලට අයවිය යුතු මුදල ගෙවුවේ, මඳ සිනහවකුත් පාමිනි. බඩු දැමූ බෑගයත් රැගෙන එළියට බට ඇය, ඊට ඇතුල් වූ තරුණයාගේ ඇඟේ හැපී, නොවැටී බේරුණේ අනූනවයෙනි.

රිදීමා.....

දිනූෂ.....


දිනූෂ සිනාසෙන විට, ඔහුගේ කපොලක සුළියක් තිබුණාදැයි රිදීමාට මතකක් නොවීය.

කොහෙද මේ ?” දිනූෂ ඇසීය. රිදීමා තමා අත වූ බෑගය පෙන්වූවා ය.බඩු වගයක් ගත්තා. !

දැන් කෙළින්ම ගෙදර යනවද ?”

ඔව් !....

පොඞ්ඩක් ඉන්න. මමත් අම්මට ඉටිපන්දම් වගයක් ගන්න ආවා.... සුපර් මාර්කට්වල මෙච්චර ඉටිපන්දම් තියෙද්දි අපේ අම්මට ඉටිපන්දම්  ඕනි මෙතනින්මයි....

මෙතන ඒවා හරි සුවඳයි....රිදීමා පැවසුවාය.

තමාගේ උරිස් සෙලවූ දිනූෂ කඩයට ගොඩ වැදුණේ, හැකි ඉක්මනින් හැරී ආවේය.

මේක දුන්න හැටියේ මමත් ආපහු  යුනි එකට යනවා. එන්න ! මම ඔයාව ඩ්‍රොප් කරන්නම්....

අනේ නෑ. මම බස් එකේ යන්නම්.රිදීමා පැවසුවාය.

බයවෙන්න දෙයක් නෑ. අපේ ගෙවල් මේ ළඟ....

රථ ගාලේ සුදු පැහැති වාහනයට හේත්තු වී ඔවුන් දෙස බලා සිටි තරුණයාගේ දෑස අසතුටින් කුඩාවෙනුද, ඔහුගේ ගැට ගැසූ පෝනිටේලයේ කෙස් මඳ සීත සුළඟට විසිරයනුද, වේගවත් හුස්මෙන් ලය උස්පහත්වෙනුද ඔවුහු නොදුටුවෝය.

දිනූෂගේ කාරයේ යන ගමන් රිදීමාට සිතුණේ, ඔහු හොඳ ළමයෙක් බවෙකි. ඔහු රටේ ඇති, නැති සෑම දෙයක් ගැනම කථා කළේය. එහෙත් අජය ගැන අසන්නට ගිය සෑම වතාවකම ඔහු ඒ කතාව මග ඇරියා යැයි ඇයට සිතුණේය.

දිනූෂගේ නිවස සමාන වූයේ කුඩා මාළිගාවකටය. දෙමහල් නිවස වටා වූ අලංකාර උද්‍යානය උයන්පල්ලෙකුගේ සහාය ඇතිව සැකසුණු එකකැයි රිදීමා කල්පනා කළාය.

බහින්න....දිනූෂගේ කපොල වළ ගැසිණි. රිදීමා සුන්දර සිනාවක් පෑවාය. විවර වූ දොරින් දිස්වූ මධ්‍යම වයසේ ගැහනිය, අතීතයේ රූමතියකවූ බවට සාධක තවමත දක්නට ලැබුුණේය. උස්, සිහින් ඇයද රිදීමා මෙන්ම සායකින් හා අත්දිග බ්ලවුසයකින් සැරසී, කෙටි, රැළි කෙස් කළඹ ගෙල මුලට ගැට ගසාගෙන උන්නාය. ඇගේ කපොලද, දිනූෂගේ මෙන්ම සිනාවෙන් වළ ගැසිණි.

මේ කවුද පුතා ?”

මගේ යාලුවෙක්! රිදීමා, මේ මගේ අම්මා... අම්මා මේ රිදීමාදිනූෂ පැවසුවේය.

මවගේ මුහුණ කුතුහලයෙන්ද, මවිතයෙන්ද, පී‍්‍රතීයෙන්ද වෙනස් වී යන සැටි රිදීමා දුටුවාය.

එන්න දුව ඇතුලට....

නිවස ඇතුල්වන තැනම, ශාලාව දෙපසින් වූයේ, උඩුමහලට නගිනා, මහා තරප්පු පේළි දෙකකි. පැරණි වටිනා රුමුවකින් සැරුසණ කණ්නාඩියකි. දෙපසින් ලොකු මල් බඳුන් දෙකක් වූ අතර පිඟන් ගඩොල් ඇල්ලූ පොළව දිලිසුණේය. දූවිලි පොදක්වත් දකින්නට නෑ.රිදීමාට සිතුණේය.

එන්න රිදීමා...වම්පස වූ දොරකින් දිනූෂ, ඇය ඇතුළට කැඳවාගෙන ගියේය. එහි වූ සෑම බඩු මූට්ටුවකින්ම පැවසුණේ, නිවසෙහි අයිතිකරුවන්, ධනවත් සුඛෝපභෝගී දිවියක් ගෙවන්නවුන් බවෙකි.

රිදීමා අසලින්ම ඉඳගත් මව ඇගේ විස්තර ඇසුවාය.

අද නම් රිදීමාට ගැලවිල්ලක් නෑ....දිනූෂද, පසෙක වූ පුටුවක දිගා වූයේය.ඒත් අම්මා අපි ඉක්මනින් යන්න  ඕනෑ...

කොහේදිද දුවට පුතාව හම්බ උණේ ?” දිනූෂට පිළිතුරක් නොදීම මව විමසුවාය. තමා දිනූෂගේ පෙම්වතිය යැයි ඇය සැක කරනවාදැයි සිතීමෙන් රිදීමාට දැනුණේ මහත් අපහසුවකි.

මෙයත් මෙයාගේ යාලුවොත් අජයව හොඳට දන්නවා. මමත් අඳුන ගත්තෙ අජයගෙන්....මව දෑස් කුඩා කළාය. අජය ?” ඇය විමසුවේ සැක සහිතවය. ඊ ළඟට ඇය සිතනු ඇත්තේ තමා අජයගේ පෙම්වතිය ලෙස යැයි රිදීමා බිය වූවාය.

දුව ලංකාවේ කොහෙද ?” රිදීමා තමාගේ ගම ගැන විස්තරයක් කළාය. ඇය කළ විස්තර අනුව, මව සෑහිමකට පත්වන්නාක් මෙන් ඇයට දැනුණේය.

අපේ ගමත් ඊට ටිකක් කිට්ටුව..... දුව දන්නවද දන්නේ නැහැ. ඉස්සර නම්  මුලු ගමම අපේ. දැන් තමයි පිට මිනිස්සු ඒ ගම්වලට ඇවිත් පදිංචි වෙලා ඉන්නේ. ඒවා අපේ පරම්පරාවේ අයට රජ්ජුරුවන්ගෙන් තෑගි ලැබුණු නින්ද ගම්.....

හා ! හා ! එනපොට නම් හොඳ නැහැ.....දිනුෂ අසුනින් නැගිට්ටේ ය. මම ගිහින් තේ ටිකක් හදාගෙන එන්නම් !

දිනූෂ හරි හොඳයි. එයයි එයාගේ අප්පච්චීයි ගෙදර වැඩට හරියට උදව් කරනවා.....රිදීමාගේ දෑසේ වූ ප‍්‍රශ්නය දුටු මව සිනා පෑවාය.

දිනූෂාගේ අප්පච්චිත් ඩොක්ටර් කෙනෙක්. මේ ළඟ වැඩ කරන්නේ. දවාලට කෑම කන්න එයි.....මව නැවත ගම පිළිබඳ මාතෘකාවට බැස්සාය.

ආ...හරි.....හරි..... මට දැන් මතකයි, ඔය කියන ගම ළඟට තමා අර බෙර ගහන මිනිස්සුන්ගේ ගම තියෙන්නෙ.ඈ පැවසුවාය.

මම දන්නවා.....

බෙර ගහන මිනිස්සු ?” රිදීමා කල්පනා කළාය.

ඒ ගමේ අය තමා, තාම නුවර පෙරහැරේ බෙර ගහන්නේ. ඒ හන්දා තමයි මාළිගාවෙන් ඔය ගම තෑගි ලැබුණේ....මව යළිත් සිනහවක් පෑවාය. ඉස්සර නම් ඔය මිනිස්සුන්ට උඩ ඇඳුමක් අඳින්න අයිතියක් තිබුණේ නෑ. ඒත් දැන් නම් මඟුල් ගෙවල්වලට නිළමේ ඇඳුම තමා අඳින්නේ.!දැරියක මෙන්  හඬ නගා සිනාසුණු ඇගේ වදන්වල අපහාසයකට වඩා වූයේ උපහාසයකැයි රිදීමා දුටුවාය.

අපේ ගම්වලට ඔය කවුරුත් ආවේ ගියේ නැහැ රාජකාරියකට ඇරෙන්න..... ඒත් දැන් අපේ මෝඩ මිනිස්සු, සල්ලිවලට ඔය හැම තැනිනන්ම මඟුල් තුලා කරගන්නවා....රිදීමා දෑස් මහත් කොට මව දෙස බැලූවාය.

උඹ හිතුවද මිනිහෝ බෙර කාරයෙකුගේ පුතෙකුට මගේ දුව දීග දෙයි කියලා ?” අප්පච්චී ගිගරුවේ, මුලු ගම්මානයටම ඇහෙන්නටය.ඇඟිල්ලේ හැටියට ඉදිමෙන්න දැන ගනින් ! පිටුපා සිටි අප්පච්චීට මුවාව සිටීමෙන්, ඔහු කෑගස්නේ කාහට දැයි රිදීමාට නොපෙනුණේය.

උඹේ පුතාට කියපං ගිහිං එයාට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කියලා.... පලයං මෙතනින් මගේ දෑහට නොපෙනීකොස්සක් රැගෙන ආලින්දයට පිවිස පිංචි කෙල්ල, අප්පච්චිගේ  හඬට වැටෙන්නට ගියාය. ඉක්මන් ගමනින්, නොපෙනී යන්නේ පාසැලේ නැටුම් ගුරුවරයාද ? රිදිමා දෑස් පියා ගත්තාය.


අඳුන් සිහින කතාවේ අටවෙනි කොටසත් සමග නැවත හමුවෙමු.


13 comments:

  1. ඉතාමත් ලස්සනයි කුලභේදය ගැන මතුපිටින් හෝ ස්පර්ශ කොට තිබෙන විදියත් හොදයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්. හිත් නරක්වෙන්න පුලුවන් මාතෘකාවක්. ඒත් තාමත් මිනිස්සු මේ ගැන කතා කරනවා. ඊට තැනක් දෙන අයත් ඉන්නවා හරියට දිනූෂගේ අම්මාවගේ. අනෙක කතාවටත් අදාලයි. ඒ නිසා එක් කරමු කියලා හිතුවා.

      Delete
  2. Me kathaawa nam hama peellakama yayi wage.. Kula bedaya mehe lokuwata nathi unaata me rate asa(ppurusa)lwasi Indiyawe darunuwata thiyanawa..
    Me wage kathaa hondayi hamotama kiyawanna deyak thiyanawa. Digatama liyanna.. Api enawa kiyawanna.

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිතෙත් එහෙම තමා අඟහරුවෝ. හැම පීල්ලකම යනවා අපිට ඕනේ උනත්, එපා උනත්. කුල භෙදය කියන එක අලුත් පරම්පරාව ඉස්සරහට එනකල් නවතින එකක් නෑ.

      සිංහල ෆොන්ට් අඟහරු ලෝකේ නැද්ද? මෙච්චර ලස්සන අදහස් සිංහලෙන් කෙටුවානම් තව හිත් ඇදගන්නවා.:)

      Delete
  3. දැන් නම් පොට පැදීගෙන එනවා වගේ :)

    ReplyDelete
    Replies
    1. පෑදීගෙන එනවා වගේ නේද? යන්තම් ඇති.:D

      Delete
  4. අනේ, මට මුල ඉඳලා කියවන්න බැරි වුණානේ. :( අද ඉඳලාවත් දිගට කියවනවා. පස්සේ ටික ටික හෙමින් මුල ටික පටන් ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මුල ටික හිමින් සැරේ කියවලා හිටියානම් හොඳයි ධාරා. වෙලා තියෙන හැටියට කියවන්න. ආදරෙන් පිලිගන්නවා අඳුන් සිහිනෙට.

      Delete
  5. අද තමයි මේ පැත්තේ මුලින්ම ආවේ. කතා පොතක් විදියට මුද්‍රණය කරන්නේ නැද්ද? එහෙම කරලා තියද?

    ReplyDelete
    Replies
    1. පසිඳුවත් සාදරෙන් පිලිගත්තා ඕං. කීපයක් මුද්‍රණය කරලා තියනවා. ඒත් මේක තාම නැහැ. මේ විදියට එලියට දාන්න හිතුවේ පාඨක විවේචන එක්ක තව රස්වත් කල හැකි කියන බලාපොරොත්තුවෙන්.:)

      Delete
  6. ඇයි මේ පොඩ්ඩක් ? :(

    ReplyDelete
  7. පුනුරුප්පත්ති කතාවක් වගේ????

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.